Life එකේ Light එක ඔබම පත්තු කරගන්න

විදුලි බිල අඩු කරන කාලයේ තාලයට ගැළපෙන ව්‍යාපාර
ජුනි 19, 2023

LED බල්බ් නිෂ්පාදනයෙන් ගොඩයන්න

අපි හැමෝම ජීවිතය ජය ගන්න දහසක් සිතුවිලි මවනවා. නමුත් අපේ මොළයේ ලියලා, ගොතලා තියන මානසිකත්වයත් එක්ක තමයි බොහෝ දෙනෙක් අපේ ජීවිතයේ තීරණ ගන්නේ. අපි කොයිතරම් සල්ලි හම්බ කළත් එක සමාන මානසිකත්වයක්, අපිත් එක්ක බැඳිලා තියනවා. ඒකෙන් ගැළවෙන්න බැරි ලූප් එකක අපි හැමෝම එකම තැන කැරකෙනවා වගේ අපට දැනෙනවා. අපි දුප්පත්කම දුක අල්ලගෙන තමයි ජීවිතයේ හුඟක් තීරණ ගන්නේ. හැබැයි ඒ මානසිකත්වයෙන් මිදිලා තමුන්ගේ ව්‍යාපාර‍යක්, කර්මාන්තයක් පටන්ගන්න හැමෝටම පුළුවන්. එහෙම හිතපු ඒ වගේ නිර්භීත තීරණ ගත්තු මිනිස්සු තමයි ලෝකය ජයග්‍රහණය කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කාන්තාවක් තීරණ ගැනීමේදී තමුන්ගේ පවුල් කුටුම්බය ගැන සිතනවා.

 

තමුන්ගේ දරු පවුලත් ආරක්ෂා කරගෙන අතට මුදලක් සොයාගන්න සිතුවිල්ල සෑම මවකටම තිබෙනවා. හැබැයි මේ සිතුවිල්ල සාම්ප්‍රදායික ලෙසින් සිතුවොත් නම් අපට ජීවිතය ජය ගන්න අසීරුයි. තවත් කෙනෙක් කරන ව්‍යාපාරය දෙස බලලා ඒ ව්‍යාපාරයම කරන අනුකරණ රටාව තමයි බොහෝ දෙනකුට තිබෙන්නේ. හැබැයි ඊට වඩා තරමක් වෙනස් විදිහට සිතන, ව්‍යාපාරික ලෝකය ගැන හොඳින් හඳුනාගත්තු සමහර ව්‍යාපාරික කාන්තාවන් අප අතර බොහෝ සිටිනවා. ඔවුන් ඒ සිතුවිලි ඔස්සේ තමුන්ගේ ව්‍යාපාරය ඉතාම දක්ෂ ලෙස මෙහෙයවමින් ඉදිරියට ගමන් කරනවා. මෙලෙසින් අප ආරම්භ කරන ව්‍යාපාරය හෝ කර්මාන්තය සාර්ථකකර ගැනීමට ප්‍රධානතම සාධකය බවට පත් වෙන්නේ ව්‍යාපාරික දැනුම හා කැපවීම. මෙලෙසින් ජීවිතය ජය ගත්තු සෑම ව්‍යවසායක කාන්තාවක්ම මේ තත්ත්වයට පත්වීම සඳහා අපමණ කැපවීමක් කරලා තියනවා. කාන්තාවකට මෙලෙසින් ජීවිතයේ සාර්ථකත්වයේ ඉහළට යන්න පුළුවන් අපූරු ස්වයං රැකියාවක් තමයි LED බල්බ් සෑදීම. අතීතයේ පැවති ටියුබ් බල්බ් හා සූත්‍රිකා සහිත බල්බ් වෙනුවට වර්තමානයේ බහුලවම භාවිත කරන බල්බ් වර්ගය තමයි LED .

 

වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින මේ LED බල්බ් නිෂ්පාදනය ගෘහස්ථ කර්මාන්තයක් ලෙසින් සිදු කරන බොහෝ පිරිසක් දැන් අප රටේ සිටිනවා. ඔවුන් ඒ ව්‍යාපාරයෙන් මාසිකව හොඳ ආදායමක් ලබනවා විතරක් නොවෙයි තවත් බොහෝ දෙ‍නකුට රැකියා අවස්ථා ලබා දීලා තිබෙනවා. මෙලෙසින් නිෂ්පාදනය කරන LED බල්බ් දැන් පදික වේදිකාවල පවා විකිණීමට තිබෙන අවස්ථා අප දකිනවා. රුපියල් 200,250,300 වැනි මිලකට අලෙවි කරන මේ LED බල්බ් මෙලෙසින් අලෙවි කරන්නේ කෙසේදැයි බොහෝ දෙනකුට ගැටලුවක්. ප්‍රමිතිය පිළිබඳ තිබෙන තක්සේරුව කොයි ආකාරයෙන් වුණත් ඉතාම අඩු මුදලකට ඇති මේ බල්බ් බොහෝ දෙනෙක් මිලදී ගන්නේ විදුලිය අරපිරිමැස්ම හා ආලෝකය ගැන හිතලා.

 

බල්බ් නිෂ්පාදනය කරන ආකාරය

 

මෙලෙසින් LED බල්බ් නිෂ්පාදනය කිරීමේදී මූලිකව අපට අවශ්‍යවන උපකරණ කිහිපයක් තිබෙනවා. මේ උපකරණවලට අමතරව බල්බ් සෑදීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම කොළඹ පිටකොටුවේ විදුලි උපාංග හා කොටස් අලෙවි කරන කඩ සාප්පුවලින් මිලදී ගන්න පුළුවන්. LED බල්බ් නිෂ්පාදනය සඳහා ඒ පිළිබඳ ලොකු විද්‍යාත්මක දැනුමක් හා පළපුරුද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ කළ යුත්තේ විවිධ වෝල්ටියතාවයන් ඇති බල්බ් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳ මූලික අවබෝධයක් මුලින්ම ලබා ගැනීමයි. ඒ සඳහා ඔබට උපදෙස් ලබා ගැනීමට හැකි රජයේ ආයතන කිහිපයක්ම තිබෙනවා. ‘විදාතා’ මධ්‍යස්ථානය, වෘත්තීය පුහුණු අධිකාරිය, කුඩා ව්‍යාපාරිකයන්ගේ සංගමය වැනි ආයතන මඟින් ඔබට ඒ සඳහා උපදෙස් ලබා ගන්න පුළුවන්.

 

LED බල්බ් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය අලෙවි කරන කොළඹ ප්‍රධාන කඩවීදිය වන්නේ පිටකොටුවේ පළමු හා දෙවැනි හරස්වීදිය හා කේසර් වීදියයි. මෙලෙසින් LED බල්බ් සඳහා අමුද්‍රව්‍ය හා සෑදු බල්බ් තොග වශයෙන් මේ කඩ සාප්පුවලින් ඔබ ලබා ගන්නා විට තොග වශයෙන් මිලදී ගැනීම තමයි වාසිදායකම ක්‍රමය. මුලින්ම ව්‍යාපාරයට ප්‍රවේශ වීමේදී විශාල ප්‍රමාණයක් ඔබට මිලදී ගැනීමට මුදල් නොතිබුණත් අවම වශයෙන් බල්බ් 10ක් වැනි ප්‍රමාණයක් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය හෝ මුලින්ම මිලදී ගන්න.

 

මෙසේ මිලදී ගන්නා විට උපකරණ පෑස්සීම සඳහා බවුත් එකක් හා අඬුවක් ද මිලදී ගැනීමට අමතක නොකරන්න.

ඔබට මේ ව්‍යාපාරයට ප්‍රවේශ වීමට සකස් කළ බල්බ් අලෙවියද තවත් ලාභදායි ව්‍යාපාරයකි. තොග වශයෙන් සකස් කළ බල්බ් විශාල ප්‍රමාණයක් ගැනීමේදී ඒ සඳහා හොඳ වට්ටම් මුදලක් ඔබට හිමි වෙයි. එසේ හිමිවන වට්ටම් මුදලට අනුව වෙළෙඳපොළේ කඩ සාප්පුවලට හෝ පදික වේදිකාවේ මේ බල්බ් වෙළෙඳාම ඔබට කිරීමට අවස්ථාව තිබේ.

 

තාක්ෂණික දැනුම

 

LED බල්බ් සෑදීම පිළිබඳ විශාල තාක්ෂණික දැනුමක් අවශ්‍ය යැයි බොහෝ දෙනකු සිතති. ඒ නිසාම මේ සඳහා යොමු වීමට බියක් දක්වති. නමුත් මේ සඳහා අවශ්‍ය වන්නේ සියුම් තාක්ෂණික දැනුමක් හා ඒ සඳහා අවශ්‍ය වූ අමුද්‍රව්‍ය නිසි ආකාරයෙන් පෑස්සීම හා අලෙවිය සඳහා ඇසුරුම් කිරීමයි. මෙලෙසින් බල්බ් සකස් කිරීමට අවශ්‍ය දැනුම ලබා දෙන වීඩියෝ රාශියක් අන්තර්ජාලයේ පවතින අතර අවශ්‍ය නම් ඔබට එම වීඩියෝ දර්ශන කිහිපයක් මුලින්ම නරඹන්න. එවිට මෙම බල්බ් සාදන මූලික අවබෝධය ලැබෙනු ඇත. තවත් හොඳින් විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් අමුද්‍රව්‍ය මිලදී ගන්නා විට එම කඩ සාප්පුවල මෙම බල්බ් සාදන ස්ථාන කිහිපයක් දැක ගන්න. එවිට එහි තිබෙන සරල තාක්ෂණික ක්‍රියාවලිය අවබෝධ වෙනු ඇත.

 

මෙලෙස ඔබ සාදන බල්බ් ඇසුරුම් කිරීම අවසාන පියවරයි. එහිදී ඒ සඳහා අවශ්‍ය පෙට්ටිද වෙළෙඳ පොළේ අලෙවියට තිබේ. ඔබ බල්බ් සෑදීමට අමුද්‍රව්‍ය ගන්නා විට එම පෙට්ටිද මිලදී ගන්න. එසේ ගත් පෙට්ටිවල ඔබ නිෂ්පාදනය කරන බල්බ්වල වෝල්ටියතාවය, ඔබගේ නිෂ්පාදන නාමය හා මිල සඳහන් කළ යුතු වේ. ඒ සඳහා කුඩා ප්‍රමාණයේ ස්ටිකර් අවශ්‍ය ප්‍රමාණයට පරිගණක පිටු සැකසුම් කරන ස්ථානයකින් ලබා ගන්න. ඔබ මේ ස්ටිකර් අලෙවියට පෙර එහි අලවන්න. දැන් ඔබගේ නිෂ්පාදනය වෙළෙඳපොළට එක් කරන්න. එහිදී ඔබගේ ව්‍යාපාරික දැනුම හා හැකියාව බෙහෙවින් ප්‍රයෝජනවත්ය. ඔබ දක්ෂ ලෙස වෙළෙඳපොළ හඳුනාගෙන මේ ව්‍යාපාරයට ප්‍රවේශ වීමෙන් හොඳ ලාභයක් මෙන්ම සාර්ථකත්වයක් කරා ළඟාවීමට ද හැකිවනු ඇත.