අලවන ගමන් සල්ලි හොයන මෙන්න ක්‍රමය

බයින්ඩර් ගම් සාදන සාර්ථක ක්‍රමය
ජූලි 3, 2023

 

සිතුවිලි කියන්නේ හරි ප්‍රබල දෙයකි. ඕනෑම කටයුත්තක් සාර්ථක වෙන්න හොඳ සිතුවිලි තමයි මුල් වෙන්නේ. හැබැයි අපේ සිතුවිල්ල ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පරිවර්තනය කර ගන්න නම් එය අනෙක් සෑම දෙනාම සිතනවාට වඩා වෙනස්වීම වැදගත්. විශේෂයෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයේ කටයුත්තක් සඳහා මේ සිද්ධාන්තය හරියටම ගැළපෙනවා. ඒ ගැන තවත් සරල ලෙස විග්‍රහ කර ගැනීමට සරල උදාහරණයක් ගැන අපි සිතමු. පසුගිය කාලයේ අපේ රටේ කහ වගාවට හොඳ ඉල්ලුමක් තිබුණා. මේ නිසා බොහෝ දෙනෙක් කහ වගාවට යොමු වුණා. ටික කාලයකින් කහ මිල විශාල අඩුවීමක් සිද්ධ වුණා.

 

හැබැයි මෙලෙස කහ මිල පහළ බසින බව වටහාගත් බුද්ධිමත් ගොවි මහත්තුරු කහ වැවීම වෙනුවට ඊට වඩා සාර්ථක වගාවක් සඳහා යොමු වුණා. මෙලෙසින් සිතපු ගොවි මහත්තුරු ජය ගත්තා. මේ වගේම තමයි ඕනෑම ව්‍යාපාරයක්. අපිත් සෑම දෙයක්ම කරන්න පෙර ඒ ගැන හොඳ අධ්‍යයනයක් කළ යුතුයි. විශේෂයෙන් ස්වයං රැකියාවක් කිරීමේදී මෙය වඩාත්ම වැදගත්. අපේ රටේ ස්වයං රැකියා සඳහා වැඩි වශයෙන් යොමු වෙන්නේ කාන්තාවන්. සමහර කාන්තාවන් රැකියාවක් කරනවා. ඊට අමතරව අමතර අදායමක් ලබාගැනීම සඳහා ස්වයං රැකියාවක් ගැනත් සිතනවා. මෙය තරමක අසීරු කටයුත්තක්. ගෘහණියක් ලෙස නිවෙසේ තමුන්ට පැවරෙන වගකීමට අමතර රැකියාවකුත් කරන අතර ස්වයං රැකියාවකුත් කිරීම සඳහා ඇයට ස්වාමියාගේ සහයෝගයන් අවශ්‍යයි. හැබැයි මේ සියලු දේ කළමනාකරණය කර ගන්න කාන්තාවන් අපට හමු වෙනවා. එවැනි දක්ෂ කාන්තාවන් තමයි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉදිරියට එන්නේ.

 

මෙවැනි අලුත් ව්‍යාපාරයක් ගැන සිතන ගෘහණියකට ගැළපෙන ස්වයං රැකියා රැසක්ම තිබෙනවා. ඒ අතුරින් බයින්ඩර් ගම් සෑදීම තරමක් වෙනස් ව්‍යාපාරයක්. ඔබට මේ ගම් සෑදීමේ ව්‍යාපාරය තරමක අලුත් දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඒ සඳහා යොමු වීමේ බයකුත් හිතේ ඇති වේවි. නමුත් කවුරුත් නොසිතන අනෙක් අය නොකරන මේ ගම් සෑදීමේ කටයුත්ත මුලින්ම අත්හදා බලන්න නිවෙසේ ප්‍රයෝජනය සඳහා මුලින්ම ආරම්භ කරන්න පුළුවන්. ගම් සෑදීමේ කටයුත්ත නියම ආකාරයට ඉගෙන ගැනීමෙන් පසුව එය ටිකෙන් ටික ව්‍යාපාරයක් බවට පත්කර ගනිමින් ක්‍රමයෙන් දියුණු කර ගන්න අවස්ථාව තිබෙනවා.

 

මුලින්ම අප බයින්ඩින් ගම් සෑදීමට පෙර ගම් සෑදීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගැන පුංචි අවබෝධයක් ලබා ගනිමු. ඉන් පසුව ඔබට පුළුවන් එය ඔබේම ව්‍යාපාරයක් බවට පත්කර ගන්න. අපි මුලින්ම බලමු ඒ සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය. උණු ජලය

සීත කළ ජලය

මෙතිල් සෙලියුලෝස් (කාබොක්සි මෙතිලි සෙලයුලෝස් / CMC PVA පවුඩර්

අසුරා ගැනීමට අවශ්‍ය භාජන සහ කුඩා බෝතල්

මේ අමුද්‍රව්‍ය හා උපකරණ තමයි මූලිකවම මේ කටයුත්ත සඳහා අවශ්‍ය. මෙහි මෙතිල් සෙලියුලෝස් හා PVA කියන පවුඩර් වර්ග දෙක තරමක මිල අධිකයි. ඒ වගේම මිලදී ගැනීමට අවැසි ස්ථානත් අඩුයි. කොළඹ බංගසාල වීදියේ රසායනික අමුද්‍රව්‍ය අලෙවි කරන කඩ සාප්පුවල නම් ඔබට තරමක් අඩු මුදලකට මේ අමුද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන්. අප මුලින් සඳහන් කළ කාබොක්සි මෙතිල් සෙලියුලෝස් ගම් සෑ‍දීමේදී භාවිත කරන්නේ ගම්වල උකු ගතිය ලබා ගැනීම යි. පොලිවයිනයිල් ඇල්කොහොල් ලෙස හඳුන්වන PVA පවුඩර් ඊළඟට අපට අවශ්‍ය දෙයක්. ගම්වල ඇලෙන ස්වභාවය ලබා ගැනීම සඳහා යොදා ගන්න PVAපවුඩර් බයින්ඩර් ගම් සෑදීමට අවශ්‍යම දෙයක්.

දැන් ඔබ කළ යුත්තේ ගම් සෑදීමයි. ඒ සඳහා මුලින්ම CMC කැබැලි ජලයේ මිශ්‍රකර ගන්න. CMC ග්‍රෑම් 30ක ප්‍රමාණයක් උණු ජලය ලීටර් ½ ක දියකර ගැනීම ප්‍රමාණවත්. ඊළඟට සීත කළ ජලය ලීටර් ½ ක් එයට දමා මූඩියක් ඇති භාජනයක දමා හොඳින් වසා එක් දිනයක් පමණ තබන්න.

 

මෙහි දෙවැනි පියවර PVA දිය කර ගැනීමයි. ඒ සඳහා සාමාන්‍ය ජලය ලීටර් එකක් ගෙන PVA ග්‍රෑම් 40ක් එහි දියකර ගන්න. මෙහිදී ඔබ ගත් CMC ග්‍රෑම් 30ට සාපේක්ෂව PVA ග්‍රෑම් 40ක් ගැනීම ප්‍රමාණවත් ය. එය ටික ටික රත් කරන්න. මෙය දැන් නිවෙන්න තබන්න. දැන් ඔබ පැය 24ක් වසා තැබූ CMC ද්‍රාවණය ගන්න. එය අවර්ණ උකු ද්‍රාවණයකි. දැන් මෙය CMC 1: PVA 2 ප්‍රමාණයටම මිශ්‍ර කරන්න. එනම් CMC කෝප්ප 1ට PVA කෝප්ප දෙකක් මිශ්‍ර කරන්න. මෙහි වර්ණය ලබා ගැනීමට අවශ්‍ය නම් MICA POWER ග්‍රෑම් 5ක් ප්‍රමාණයක් මිශ්‍ර කරන්න. එවිට ඔබ සාදන ගම් එක සුදු වර්ණයක් ගනී.

 

දැන් මෙය බෝතල්වලට අසුරා ගන්න. මෙලෙස සාදා ගත් ගම් බෝතල් ලේබල් කිරීම ඊළඟ පියවරයි. මෙය ඔබ මුලින්ම සුළු ප්‍රමාණයක් සාදා අත්හදා බලන්න. එය සාර්ථක වූ පසුව ඔබට විශාල ප්‍රමාණයෙන් සාදා වෙළෙඳ පොළට එක්කර ගත හැකිවනු ඇත. මෙයින් ඔබට හොඳ ලාභයක් උපයා ගතහැකි අතර වෙළෙඳ පොළේ ඇති ගම්වලට අඩු මුදලට ඔබ එය අලෙවි කරන විට ඔබට පහසුවෙන්ම විකුණා ගැනීමට ද හැකි වනු ඇත.