වෛවර්ණ බ්ලවුසය ඔබව වර්ණවත් කරයි

ඔක්තෝබර් 2, 2023

සමනල යෞවනය වර්ණවත් කරන හැඩති බ්ලවුසයකි මේ. කහ, රතු, කොළ සහ සුදු වර්ණයන්ගෙන් අලංකාර වූ මේ බ්ලවුසය යොවුන් දියණියට කදිමයි.

එසේම කාර්යාලයට යන යුවතියට ද ගැළපේ.

අද කාලයේ මෙවැනි බ්ලවුසයක් මිලෙන් ඉතාමත් අධිකයි. එහෙත් අපි මේ සපයන අත්වැලත් සමඟින් ඔබට බ්ලවුසය හරිම ලෙහෙසියෙන් පහසුවෙන් අඩු වියදමකින් මසා ගත හැකියි.

බ්ලවුසයට අවශ්‍ය මිමි

 

* උරහිස අඟල් 15 1/2

* කරවට අඟල් 14

* ඉණ දක්වා උස අඟල් 15

* උස අඟල් 26

* පපුව වට අඟල් 38

* ඉණ වට අඟල් 31

* උකුළ වට අඟල් 39

* අත උස අඟල් 9

* කැප් උස අඟල් 4

* අත අගවට අඟල් 7

* පතරොමේ අත්කට අඟල් 9

 

මෙලෙසින් මසා ගනිමු

 

බ්ලවුසය මසා ගැනීම සඳහා බලවාටියට තබා ගන්න. බලවාටියේ සිට අඟල් 2ක් තබා නැම්ම අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4 ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

උකුළ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය J K වේ.

GI K යාකර අංශය අඳින්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

පසුපස

 

පසුපස සඳහා ද නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම ගාණට තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2 ක් පහත්කර කපාගන්න.

 

අත

 

අත සඳහා රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අත අගවට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යාකරන්න.

 

කොලරය

කොලරය සඳහා කොටස් දෙකකට භාවිතකර බෑන්ඩ් කොටස සඳහා කරවට ප්‍රමාණය මැන එම ප්‍රමාණයට දිගද උස අඟල් 1ත් 1 1/2ත් අතර ගන්න. මුලින් ස්ටිෆ් හෝ පතරොමක් සාදා ගන්න. ඒ සඳහා නැම්මට නවාගන්න. මැනගත් කරවට දෙකට බෙදා එම පිළිතුර හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1ක් පමණ ඉහළටකර කොලරයේ උස ලකුණුකර අග කොටස කවාකාරව අඳින්න. රෙදි කොටස කැපීමේදී මැහුම් වාසි තබා කොටස් 2ක් කපාගන්න.

 

කොලරයේ ඉහළ කොටස සඳහා රූප සටහනේ පරිදි ඇඳ එයද ස්ටිෆ්වලින් කපා පසුව මැහුම් වාසි තබා රෙදි කොටස් 2ක් කපා ගන්න.

 

* උරහිස මසන්න.

* කොලරය අල්ලා ගන්න.

* අත අල්ලා ගන්න.

* අංශය මසන්න.

* වාටිය මසන්න.