ඔබේ අතේ ඇති මුදලින් ලාභ ගන්න පුළුවන් පුංචි ව්‍යාපාරයක්

නොවැම්බර් 6, 2023

 

කොරෝනා වසංගතයත් සමඟ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ආකල්ප බොහෝ දුරට වෙනස් වුණා. ඒ තත්ත්වය තවත් වැඩි වුණේ රටේ ඇති වුණු ආර්ථික අර්දබුයත් සමඟ. විශේෂයෙන්ම නිවාසවල සිටි ගෘහණියන් අරපිරිමැස්ම ගැන, මුදල් ඉතිරිය ගැන වඩාත් උනන්දු වුණා. දේශීය නිෂ්පාදන ගැන වැඩි උනන්දුවකින් කටයුතු කළා. මේ නිසාම පුංචි පුංචි ගෘහස්ථ නිෂ්පාදන, කර්මාන්ත වැඩි වෙන්න පටන් ගත්තා.

සාමාන‍යයෙන් දෛනිකව නිවෙසකට ප්‍රයෝජනවත්, අවශ්‍ය වන ද්‍රව්‍ය අතර සේදුම්කාරක සඳහා සෑහෙන මුදලක් වැය වෙනවා. මෑත කාලය වනතෙක් වෙළෙඳ පොළේ පවතින විවිධ වර්ගයේ සේදුම්කාරක සඳහා බොහෝ දෙනෙක් හුරු වෙලා තිබුණේ. නමුත් මේ සේදුම්කාරක වර්ගවල මිල අධිකවීම හා හිඟවීමත් නිසා ගෘහිණියන් විකල්ප මාර්ග තෝරා ගැනීමට පෙලඹුණා. මේ නිසාම වෙළෙඳ පොළේ පැවැති ඒකාධිකාරය බිඳ වැටිලා ජනතාව සම්මතයෙන් බැහැරව ප්‍රමිතියෙන් යුතු සේදුම් කාරක, පිරිසුදුකාරක හා සබන් වර්ග තෝරා ගන්න පටන් ගත්තා.

මේ වාසිය නිසා වෙළෙඳ පොළේ අලුත් නිෂ්පාදන, වෙළදාම් කරන පිරිසක් බිහි වුණා. අලුතින් සිතන අලුත් ව්‍යාපාරයක් ගැන උනන්දු බොහෝ දෙනෙක් මෙවැනි සේදුම්කාරක වර්ග අලෙවි කරන්න යොමු වුණා. අද අප ඔබගේ අවධානයට යොමු කරන්නේ මෙවැනි පුංචි ව්‍යාපාරයක් ඔබටත් ආරම්භ කිරීම සඳහා ප්‍රවේශයක් සපයන්න.

සාමාන්‍යයෙන් වෙළෙඳ පොළේ පවතින විවිධ සේදුම් කාරකවල මිල තරමක් ඉහළයි. හැබැයි මේ ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරන සේදුම්කාරක වර්ග හා සමානම වර්ග රාශියක් දැන් අපේ රටේ තොග වශයෙන් අලෙවි කරන නිෂ්පාදන ආයතන පවතිනවා. මෙවැනි සේදුම්කාරක අලෙවි කරන නිෂ්පාදන ආයතන බොහෝ ප්‍රමාණයක් පවතින්නේ වෙළෙඳ කලාප ආශ්‍රිතව. මෙවැනි ආයතනයක් සොයාගත් විට ඔබටත් පුළුවන් මේ ව්‍යාපාරය ඉතාම පහසුවෙන් ආරම්භ කරන්න. එසේ නැතිනම් කොළඹ පිටකොටුවේ මේ සේදුම්කාරක විකුණන කඩ විශාල ප්‍රමාණයක් තිබෙනවා.

ඔබ මුලින්ම කළ යුත්තේ තොග වශයෙන් සේදුම්කාරක අලෙවි කරන මෙවැනි කඩයකින් හෝ නිෂ්පාදන ආයතනයකින් සුළු ප්‍රමාණයක් මුලින්ම මිලදී ගැනීමයි. සබන්, රෙදි සෝදන දියර, ෂැම්පූ, නාන කාමර පිරිසුදුකාරක, සේදීම සඳහා භාවිත කරන කොසු, බුරුසු හා කුඩා උපකරණ සුළු ප්‍රමාණයක් මිල දී ගන්න. දැන් ඔබ මේ වර්ග සියල්ලම ඔබගේ නිවෙසේ හෝ කුඩා කඩයක හොඳින් අසුරන්න. මෙසේ අහුරා එම වර්ගවල මිල ගණන් ද හොඳින් පෙනෙන සේ සටහන් කරන්න. මෙලෙස සටහන් කළ විට වෙළෙඳ පොළේ අනෙක් කඩවල මිල සේවාදායකයාට සස෦ඳා බැලීමට පහසුවෙන් හැකි වනු ඇත.

මෙසේ ඉතාම ක්‍රමානුකූලව මේ ව්‍යාපාරය සිදු කරන විට ක්‍රමයෙන් ඔබගේ ව්‍යාපාරය ගැන ගෘහිණින් අතර පැතිර යයි. එවිට ඔබගේ නිෂ්පාදන මිල දී ගැනීමට ඔහුන් සොයාගෙන එයි. මේ සඳහා ඔබට අමතර ප්‍රචාර අවශ්‍ය නොවෙයි. ඔබ සැමවිටම වෙළෙඳපොළ ගැන අවදියෙන් සිටීම ඉතාම වැදගත්ය. හැම විටම වෙළෙඳ පොළේ පවතින මිලට වඩා රුපියලක් හෝ අඩුවෙන් ඔබගේ නිෂ්පාදන අලෙවි කරන්න උත්සාහ කරන්න. එවිට ටික කාලයකින් ඔබට සාර්ථක ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමට හැකිවනු ඇත.

දුමින්ද කාරියවසම්