හැඩ නැති පොල් කටුවෙන් කොරවෙන වැඩ දාන කොරතොට පවුල

නොවැම්බර් 13, 2023

රළු පොල් කටුවෙන් පවා සිතුවම් මවන දක්ෂයන් මේ මහ පොළව මත වෙයි. එවැනි දක්ෂයන්ට ඉවත දමන පොල් කටුව නිර්මාණ උල්පතකි. සියුම් ස්වර්ණාභාරණ පවා නිර්මාණය කළ හැකි මේ පොල්කටු නිර්මාණ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් ද පවති.

තම දෑතේ හැකියාවෙන් ඉවත දමන පොල්කටුවට ජීවය දෙන මෙවැනි දක්ෂ නිර්මාණශීලි යුවළක් අපට පසුගියදා හමුවිය. කඩුවෙල, කොරතොට ග්‍රාමයේ පදිංචි වසන්ත පුෂ්ප කුමාර සහ ඉනෝකා දිලක්ෂි යුවළ පොල්කටු ආශ්‍රිත නිර්මාණකරණයේ යෙදෙන්නේ වසර 12ක කාලයක සිටය. දරුවන් තිදෙනෙකුගේ මවුපියන් වන ඔවුන් තම ජීවනෝපාය ලෙස පොල්කටු ආශ්‍රිත නිර්මාණ කීරිමෙන් විශාල මුදලක් උපයා ගනියි. ඉතා සාර්ථක ලෙස නිර්මාණ රාශියක් සිදුකරනු ලබන මේ දෙපළගේ නිවහන පිරි තිබුණේ පොල්කටු නිර්මාණ ගොන්නකිනි. ඉතාම සියුම් ලෙස විශාල වෙහෙසක් හා මහන්සියක් ගෙන සිදු කළ එම නිර්මාණ සාර්ථකව නිමකරන අයුරු ගැන ඉතාම සතුටින් වසන්ත සහ ඉනෝකා අපට පැහැදිලි කළේ මෙලෙසිනි.

“අපි දෙන්නම මුලින්ම පෞද්ගලික ආයතනයක රැකියා කළා. නමුත් රැකියාවක් කිරීම හරිම ඒකාකාරීයි කියලා අපට හිතුණා. මාසේ අන්තිමට අතට මුදලක් ලැබෙනවා. ආයෙමත් අපි රස්සාවට යනවා. අපේ මානසික නිදහසයි සතුටයි ඒ රස්සාවේ තිබුණේම නැහැ. හැබැයි රස්සාව කරන කාලයේ විවේක වෙලාවට පොල්කටු නිර්මාණ කරන වැඩේ මම පටන් ගත්තේ තිබුණු හැකියාවෙන් මොනවා හරි කරන්න හිතාගෙන. මේ නිර්මාණ කරන්න අපට කිසිම උපකරණයක් තිබුණේ නැහැ. පුංචි පුංචි උපකරණ කිහිපයක් අපිම හදාගත්තා. ඊට පස්සේ කාලය තිබුණු විදිහට නිර්මාණ කළා. මේ නිර්මාණ මුලින්ම විකුණුවේ නැහැ. යාළුවන්ට තෑගි දුන්නා. ඒවා දැකපු සමහරු අපෙන් ඒවාගේ නිර්මාණ හදලා දෙන්න කියලා ඉල්ලුවා. ටික ටික මේ වැඩේ ජනප්‍රිය වුණා.

ඊට පස්සේ උපකරණ කිහිපයක් මිලදී ගත්තා. අපට පුංචි මුදලක් අතට ලැබෙනකොට උනන්දුව වැඩි වුණා. මේ විදිහට වෙ‍ෙළදාම කරනකොට අපට රජයේ ආයතන කිහිපයකුත් උදව් කළා. අපි මේ වැඩේට අපේ ගෙදරම කොටසක් වෙන් කරලා හදාගත්තා. ඒ කාමරේ පොල්කටු කපන මැෂින් දෙකකුත් සවි කරගත්තා."

මෙලෙසින් පොල්කටු නිර්මාණ කිරීම ආරම්භ කළ වසන්ත සහ ඉනෝකා දෙදෙනා කළ රැකියාවෙන් ඉවත් වී සම්පුර්ණ කාලයම මේ වෙනුවෙන්ම වෙන් කිරීමට තීරණය කළේ එයින් හොඳ මුදලක් අතට ලැබුණු නිසාය. මේ සඳහා ඔවුන්ට ජාතික ශිල්ප සභාව, හස්ත කර්මාන්ත දෙපාර්තමේන්තුව හා බස්නාහිර පළාත් සභාව සහයෝගය දැක්වුයේ ඔවුන්ගේ දක්ෂතාවය අගයමිනි. මෙලෙසින් පොල්කටු නිර්මාණ කළ ඔවුන්ට ජාතික ශිල්ප සභාව මඟින් පිරිනමන ජනාධිපති සම්මානය ද දිනාගැනීමට හැකි විය. වසර දොළහක කාලයක් මෙලෙසින් නිර්මාණකරණයේ නියැළෙන මේ යුවළ හා දියණියන් තිදෙනාම ඉතා සතුටින් ජීවත්වීම රටටම ආදර්ශයකි. මේ ව්‍යාපාරයෙන් ලබන සතුට ගැන ද ඉනෝකා සඳහන් කළේ මෙලෙසිනි.

‘අපේ ව්‍යාපාරය හරිම ස්වාධීනයි. අපට දුවලා තුන්දෙනෙක් ඉන්නවා. ඒ දරුවන්ගේ පාසල් කටයුතුවල උදව් කරන්නටත් අපට වෙලාව තියෙනවා. ඒ වගේම ලොකු නිදහසකුත් තියෙනවා. මම උදේට උයලා නිර්මාණ හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ වසන්ත දරුවෝ පාසල් එක්ක ගිහින් ඇවිත් එයත් වැඩ පටන් ගන්නවා. අපට හැමදාම ඕඩර් තියනවා. ඒ ඕඩර්වලට තමයි බඩු හදන්නේ. පොල්කටු හැඳි, කෝප්ප, ලෑම්ප් සේඩ්, මල් බඳුන්, ආභරණ (කොණ්ඩා කටු, මුදු, කරාබු, මාල, ඔරලෝසු, යතුරු රඳවන, බිත්ති සැරසිලි, සමරුඵලක මේ වගේ නිර්මාණ රාශියක් හදනවා. මේ නිර්මාණ සෑම එකක්ම අපි හදන්නේ ලැබෙන ඕඩර්ස්වලට.

ඒ නිසා වෙළෙඳ පොළ ගැන ගැටලුවක් නැහැ. හැබැයි පසුගිය කාලේනම් වෙ‍ෙළඳාම ටිකක් අඩු වුණා. නමුත් දැන් නැවත හොඳ ඉල්ලුමක් තියෙනවා. විදේශ රටවලටත් ඉල්ලුමක් ඇති නිර්මාණ අපි කරනවා. සමහර නිර්මාණවලට නම් සෑහෙන වෙලාවක් ගත වෙනවා. ඇත්තටම අපේ ව්‍යාපාරය හරිම ස්වාධීනයි. අපි කිසිම කෙනෙකුට බැඳිලා නැහැ. අපට හිතුන ඕනෑම වෙලාවක වැඩ කරන්න පුළුවන්. සමහර වෙලාවට ලොකු ඕඩර්ස් ලැබුණු අවස්ථාවල දවසම වැඩ කරනවා. ඇත්තටම දරු‍වෝ තුන්දෙනාගේ පාසල් වැඩකටයුුතුයි ගෙදර වියදමටයි මුදල් සොයා ගන්නේ මේ ව්‍යාපාරයෙන්. අපි මේ වැඩේ ක්‍රමානුකූලව කරන නිසා කිසිම දවසක චෝදනා එල්ල වෙලා නැහැ. අපි සේවාදායකයාගේ වුවමනාවට සරිලන ආකාරයේ ඉතාම හොඳින් සියුම් ආකාරයට බඩු සපයනවා. අපට තාක්ෂණය අතින් දියුණු ලොකු උපකරණ නැහැ. නමුත් අපට තියෙන උපකරණවලින් උපරිම දෙයක් නිර්මාණය කරනවා.‘

වසන්ත සහ ඉනෝකාගේ කැදැල්ල ඉතා සතුටින් ගත කරන්නේ පොල් කටු නිර්මාණ සෑදීමෙන් උපයන මුදලිනි. එය ඔවුන්ට හොඳටම ප්‍රමාණවත්ය. ස්වාධීනව තමුන්ගේ මහන්සියෙන් උපයා ගන්නා මුදලින් ඔවුන් ඉතා සරල දිවිපෙවෙතක් ගත කරයි. තම නිදහස උපරීමයෙන් භුක්ති විඳින ඔවුන්ගේ කුසලතාවය හා හැකියාව මේ ලක්දෙරණට විශාල වටිනාකමක් එක් කරයි.