පාඩු නොවී ලාභ ගන්න මේ බිස්නස් පටන් ගන්න

නොවැම්බර් 27, 2023

 

මේ කාලේ අප හැමෝටම දැනෙන, දැවෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ජීවන වියදම ඉහළ යෑම. නමුත් උපයන මුදලට වඩා වැය වන පිරිවැය වැඩි නිසා සෑම කෙනෙක්ම අමතර මුදලක් සොයා ගැනීම ගැන සිතනවා. ඒ සඳහා ඔබ අප හැමෝම විකල්ප සොයනවා. විශේෂයෙන්ම ගෘහිණියකට තම නිවෙසේ වියඳම සම්පූර්ණ කරගන්න අමතර මුදලක් සොයා ගැනීමට හැකි ක්‍රමයක් තිබේ නම් මේ කාලේ හැටියට හරිම වටිනවා.

තමුන්ගේ නිවෙසේ කටයුතු අතර තමුන්ගේ ආදායමට අමතර මුදලක් සොයා ගන්න ක්‍රම ගැන මේ දිනවල වැඩි උනන්දුවක් ඇති වී තිබෙන්නේ මේ නිසයි. හැබැයි මේ ගැටලුවට විසඳුම් සොයන්න අපි සිතන පතන ආකාරය ගැන ආකල්පමය වෙනසක් ඇතිකර ගත්තොත් අපට මෙයින් ගොඩ එන එකත් එතරම් අසීරු ඉලක්කයක් නොවෙයි. ලෝකයේ බොහෝ දැවැන්ත ආයතන, ව්‍යාපාර, කර්මාන්ත බිහි වෙලා තිබෙන්නේ මෙවැනි ආකල්පමය වෙනසක් ඇතිව සිතපු පුද්ගලයෝ නිසයි.

බොහෝ දෙනකුට තමුන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ආසාව තිබෙනවා. සමහරු ඒ අසාව නිසාම හරිම උනන්දුවෙන් තමුන් සිහින මැවූ කටයුත්ත ආරම්භ කරනවා. නමුත් ටික කාලයකින් ඒ උනන්දුව නැති වී ගිහින් සියලු අපේක්ෂා බිඳ වැටෙනවා.

අප ඔබට හඳුන්වා දෙන ව්‍යාපාරය ඊට වඩා බොහෝ වෙනස්. ඔබගේ කැපවීම හා උනන්දුව මත මේ ව්‍යාපාරය හොඳින් දියුණුකර ගන්න පුළුවන්. හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි පූජා භාණ්ඩ අලෙවිය. පූජා භාණ්ඩ කියන්නේ බෞද්ධයන් ලෙස පූජා කරන භාණ්ඩ විතරක්ම නොවෙයි. අපේ රටේ වසර පුරාම විවිධ ආගමික, ජාතික උත්සව ගණනාවක් පවත්වනවා. මේ උත්සව සඳහා විවිධ භාණ්ඩ අපට අවශ්‍ය වෙනවා. මෙවැනි අවස්ථාවක ප්‍රයෝජනවත් උත්සව භාණ්ඩ අලෙවිය තුළින් අපට හොඳ ලාභයක් හා මුදලක් උපයා ගන්න අවස්ථාව තිබෙනවා. උදාහරණයක් ලෙස තව දින කිහිපයකින් උදාවන නත්තල ගැන සිතන්න. මේ නතතල් සමයේ නිවාස අලංකාර කරන්න කතෝලික ජනතාව විවිධ සැරසිලි භාණ්ඩ මිල දී ගන්නවා. නත්තලේ සංකේත වන ගව හළක් සෑම කතෝලික නිවෙසකම සෑදීම සිරිතක්.

හැබැයි මෙවැනි උත්සව සඳහා අවශ්‍ය භාණ්ඩ සෑම තැනම මිලදී ගන්න නැහැ. ඒ නිසා අප මෙවැනි භාණ්ඩ අලෙවි කරන පුංචි සාප්පුවක් දැම්මොත් එය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන්. මේ උත්සව භාණ්ඩ නත්තල විතරක් නොවෙයි තවත් අවස්ථාවලටත් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබ තොග වශයෙන් මිල දී ගෙන මේ වගේ ව්‍යාපාරයක් පටන් ගත්තොත් එය ඉතිරි වුණත් පාඩුවක් වෙන්නේ නැහැ. ඔබට මේ වසරේ ඉතිරි වුණත් ලබන වසරේදී හෝ ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

මෙවැනි උත්සව භාණ්ඩ හා පූජා භාණ්ඩ අලෙවියේදී ඔබ විශේෂයෙන්ම ඒ ගැන පුංචි අධීක්ෂණයක් හා සමීක්ෂණයක් කිරීම වැදගත්. ඔබ පදිංචි ප්‍රදේශයේ බහුතරයක් පදිංචි කුමන ආගම අදහන කුමන ජාතියකට අයත් පිරිසක් සිටිනවා දැයි මුලින්ම සොයා බලන්න. උදාහරණයක් ලෙස බෞද්ධ ජනතාව බහුතරයක් සිටින ප්‍රදේශයක කතෝලික පූජා භාණ්ඩ අලෙවි කිරීමට මුදල් යෙදවීම අසාර්ථක උත්සාහයකි. ඔබ බෞද්ධයන් සිටින ප්‍රදේශයක නම් අටපිරිකර, විවිධ පූජා භාණ්ඩ හා පිරිකර සඳහා අවශ්‍යවන භාණ්ඩ අලෙවි කිරීම තෝරා ගන්න.

මුලින්ම ඔබ මේ සඳහා විශාල පිරිවැයක් වැය නොකරන්න. ඔබට හැකි ආකාරයෙන් අතේ ඇති මුදල් ප්‍රමාණයකින් අවශ්‍ය භාණ්ඩ තොග වශයෙන් මිල දී ගන්න. මෙසේ තොග වශයෙන් මිල දී ගන්නා විට මිල අඩුම, ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩ ඇති තව සාප්පු ගැන සොයා බලන්න. ඉන්පසුව එම භාණ්ඩ අලෙවිය ගැන පුංචි ප්‍රචාරයක් ලබා දෙන්න. වර්තමානයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට මේ කටයුත්ත ඉතාම පහසුවෙන්කර ගැනීමට හැකිවනු ඇත.

මේ ව්‍යාපාරය සඳහා ඔබ මුල පිරූ දිනයේ සිට ඉතා අවංකව එම භාණ්ඩ අලෙවි කරන්න. වගකීමෙන් යුතුව ඉතාම පිරිසුදුවට හා පිළිවෙළට එම භාණ්ඩ තම සේවාදායකයාට සපයන්න. වැඩි ලාභයට වඩා ගුණාත්මකභාවය ගැන සිතන්න. ඔබගේ ව්‍යාපාරය ගැන සේවදායකයා තුළ විශ්වාසයක් ඇතිකර ගන්න. එවිට ඔබේ ව්‍යාපාරය ඉතාම ඉක්මනින් දියුණු වී ඔබ සාර්ථක ව්‍යවසායිකාවක් වනු නියතය.