ගෙදරදීම කරන්න හැකි ස්වයං රැකියා

දෙසැම්බර් 4, 2023

ගෙදරට වෙලා නිකම්ම ඉන්න එකේ මොනා හරි රස්සාවක් නැද්ද අනේ කරන්න?” එහෙම අහන අය නම් ඕනෑ තරම් ඉන්නවා. නිවෙසේ සිටින කාන්තාවන්ට තිබෙන එක ලොකු ප්‍රශ්නයක් තමයි ඒක. සුදුසුකම් ගොඩක් තිබුණත්, කාර්යාලයක තිබෙන සුවපහසු රක්ෂාවක් ලබා ගන්නට අපහසුයි. ඒ ලබා ගත්තා වුණත් ගමනාගමන අපහසුකම්, ගෙදර දොරේ වැඩ කටයුතු, දරුවන්ගේ වැඩ කටයුතු ආදිය නිසා රැකියාවේ නිරත වීම ගැටලුවක් වෙනවා. ඉතින් මේ කාන්තාවන්ට නිවෙසේදීම පටන් අරගන්න පුළුවන් ස්වයං රැකියා තියෙනවා. මුලින්ම විශාල ණය මුදලක් අරගෙන, විශාල ව්‍යාපෘති ලෙස නොව, කුඩාවට පටන් අරගෙන කරන්න පුළුවන් මේ දේවල් ඔයාලටත් අලුත් අත්දැකීමක් එකතු කරාවි.

 

රෙදි මැසීම, සාරි බ්ලවුස් මැසීම

 

අලුතින් ලස්සන ඇඳුමක් ගන්නට කොළඹ සුපිරි පෙළේ ෂොපින් මෝල් එකකට ගියොත් අපේ ඇස් උඩ යන ගණන් තමයි ඒ ඇඳුම් ටැග්ෙවල තියෙන්නේ. ටිකක් අඩුවට ඇඳුම් තිබුණත් ඒවායේ රෙදි වගේම මැහුනුත් ඒ තරම් කොලිටියට නැහැ. අප‍ෙ දකින හැම ඇඳුමක්ම, ඩිසයින් එකක්ම මහන්න බැහැ. ඒත් ලස්සන ගවුමක්, බ්ලවුස් එකක්, අලුත් මාදිලියේ සායක් නිවෙසේදීම මහන්න පුරුදු වුණොත් අපිට ඕනි ඇඳුම් පැලඳුම් අපිට ඕනි විදියට ඩිසයින් කරගෙන මහගන්න පුළුවනි. ටික කාලයක් පුරුදු පුහුණු වුණොත් ඉන් පස්සේ සාරි බ්ලවුස්, අලුතින් එන ෆැෂන් අනුවත් මහන්න හැකියාව ලැබෙනවා. ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්න කාන්තාවට ගෙදර ගතකරන කාලයේ කීයක් හරි හොයාගන්න මේ මැහුම් වැඩ හරි අපූරුයි.

 

ගෙවතු වගාව සහ මල් වගාව

 

ලස්සන මල් තියෙන වටපිටාවක ඉන්න අපි හැමෝම ආසයි. ඒත් උද්‍යාන වගාවකට හැමෝටම එකවගේ ඉඩ කඩ නැහැ. යම්තාක් දුරකට වැවුණු මල් පෝච්චියක් සෑහෙන මුදලකට අලෙවි කරන්නට පුළුවන් හොඳ වෙළෙඳ පොළක් හදාගත්තොත්. අද අන්තර්ජාලයෙන් වගේම කෘෂිකර්ම සහාය මධ්‍යස්ථාන හරහා වගා කටයුතු පිළිබඳ දැනුම ලෙහෙසියෙන් ගන්නට පුළුවන්. මල් ඇට, කුඩා මල් පැළ වගේම මල් පෝච්චි විදියටත් මල් පැළ විකිණීමේ ව්‍යාපාරය කරන්න හැකියි. තරමක විශාල ඉඩකඩක් වත්තේ තිබෙනවා නම් ගෙවතු වගාවත් හොඳ ආදායම් මාර්ගයක්. බණ්ඩක්කා ගස් පනහක් හැටක් හිටවගෙන සාත්තු කරලා, ටික කලකින් වැඩිපුර හැදුණු බණ්ඩක්කා ටික කඩේකට ගෙනිහින් දීලා කීයක් හරි ගන්න කාන්තාවන් ලැජ්ජ වෙන්න ඕනා නැහැ.

 

විවිධ ආකාරයේ අත්කම් නිර්මාණ

 

ලස්සන දේට හැමෝම කැමතියි. ලස්සන දේවල් තෑගි දෙන්න, ලස්සන සිහිවටන තියාගන්න පෙම්වතුන් වගේම වැඩිහිටි බොහෝ පිරිසුත් ආශා කරනවා. මේ ලස්සන ලස්සන අත්කම් නිර්මාණ ෆේස්බුක් පේජ් එකක වගේ දාලා පොඩියට විකුණන අයත් ඉන්නවා. එයාලා පොඩියට අයිටම් කිහිපයක් හදාගෙන, ඒවායේ ෆොටෝ එෆ් බී දානවා. ඉන් පස්සේ ඒවා ගන්න කැමති අය යාළුවෝ අතරින්ම එකතු වෙනවා. මේවා හදන ආකාරය සමහරුන්ට නම් ඉබේම ඇඟේ තියෙනවා. කුඩා සෝමසිරි බෝනික්කන් සෑදීම, තොප්පි සකස් කිරීම ආදිය නම් කුඩා වැඩමුළු සහ පාඨමාලා විදියට උගන්වන තැනුත් තියෙනවා.

 

අන්තර්ජාලයෙන් පාට් ටයිම් ජොබ්ස්

 

අන්තර්ජාලය කියන්නේ ෆේස්බුක් හා වෙනත් සෝෂල් මීඩියා එක්ක එක්කහු වෙලා යාළුවෝ එක්ක කාලේ කන දෙයක්ම නෙමෙයි. අන්තර්ජාලය හරහා මුදල් උපයන විවිධ ක්‍රම තියෙනවා. සමහරු කියන තරම් මාසෙකට ලක්ෂ ගණන්, කෝටි ගණන් නම් හම්බකරගන්න හැකිද කියන එක සැකයි. ඒත් තමුන්ට යම් ස්කිල් එකක් තියෙනවා නම්, උදාහරණ විදියට ලිපි සකස් කරන වැඩ, ග්‍රැෆික් සහ වෙබ් ඩිසයින්, ටයිප් සෙටිං ආදිය කරන්න යම් දක්ෂතාවයක් තියෙනවා නම්, අන්තර්ජාලයේ ෆ්‍රී ලාන්ස් වැඩ හරහා මුදල් උපයන්නට හැකියි.

 

රසකැවිලි සෑදීම, ආහාර නිපදවීම

 

ලංකාවේ රසට උයන නමගිය කෝකියන් බොහොම දෙනෙක් පිරිමි අය වුණාට බහුතරයක් නිවෙස්වල කෑම උයන්නේ ගෘහණියන්. මේ ආහාර සැකසීම කියන්නේ හැමෝම ආසා කරන දෙයක් නෙමෙයි. සමහර කාන්තාවන් කොහොමත් අලුත් කෑම වර්ග හදන්න, අලුත් දේවල් කරන්න ආසයි. ඒ වගේම කොච්චර කෑම කඩ තිබුණත් රසට ෂෝට් ඊට්ස් එකක් කන්න කඩයක් හොයාගන්නට ටිකක් අමාරුයි. ඉතින් මුලින් වඩේ දහය පහළොවක් හරි නියම පදමට, නියම රසට හදලා ළඟපාත කඩේකට දාන්න පුළුවන් නම් එතනින් පොඩි ගාණක් අතට ගන්න පොටක් පාදගන්න පුළුවන්. බයිට් වර්ග සෑදීම, ජෑම් සෑදීම, රසකැවිලි සෑදීම ඒ විදිහට කුඩාවට ගැහැනු ළමයෙක්ට වුණත් පටන් ගන්න පුළුවන් රස්සාවන්. විකිණීම සඳහා කෑම සෑදීමේදී රසය ඉතාම වැදගත් සාධකයක්. ඇත්තටම හොඳට රහට තියෙනවා නම් ඒ රෝල්ස් එක, එළවළු රොටි එක, වඩේ එක කන්න මිනිස්සු බයික්වලින්, කාර්වලින් පවා කඩවල් හත අට පාස් කරගෙන එනවා අපි කොතෙකුත් දැකලා තියෙනවා.

 

ග්‍රැෆික් සහ සේයාරූ සංස්කරණ කටයුතු

 

පරිගණක පැත්තෙන් ඉගෙන ගන්නා ගෑනු ළමයෙක්ට ග්‍රැෆික් කියන්නේ හොඳ පැත්තක්.

 

 

ග්‍රැෆික්වලදී ඒ ඒ මෘදුකාංගයේ ඇති ටූල්ස් ඉගෙනගැනීමෙන් නොනැවතී, ඒ දේවල් අත්හදා බලන්න, අලුත් වැඩ කරන්න පුරුද්දක් ඇතිකරගන්න එක හොඳයි. ඉස්තරම්ම පින්සල්, ඉස්තරම්ම කොළ, ඉස්තරම්ම වෙලාවක් සහ තැනක් තිබුණු පලියට හැමෝටම සිත්තරුන් වෙන්නට බැහැ. ඒ සඳහා යම් ආකාරයක ඉගෙන ගැනීමක් වගේම පළපුරුද්දකුත් අවශ්‍ය වෙනවා. ඒ ආකාරයට නිර්මාණශිලී දෑතක් නිර්මාණය කරගත්තොත් පරිගණකය හරහා ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක් විදියට කාන්තාවට නිවෙසේ සිටම යම් ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවන්.

 

ඡායාරූප ශිල්පය

 

බාලිකා විද්‍යාලයක තිබෙන ආදි සිසුවියන්ගේ සුහද හමුවක් ගනිමු. එතැනදී කාන්තාවක්ම ෆොටෝග්‍රැෆර් විදියට ගන්න පුළුවන්නම් ඒකට ඒ අය ගොඩක් කැමතියි. ඒ වගේම කුඩා දරුවකුගේ ෆොටෝ ගැන්මකදීත් කාන්තාවන්ට දරුවා සමඟ ගනුදෙනු කිරීමට හොඳට තේරෙනවා. වෘත්තිය සේයාරූ ශිල්පීන් බොහොමයක් පිරිමි වුණත්, කාන්තාවකටත් ටිකක් හොඳින් හුරුපුරුදු වුණොත් ඡායාරූප ශිල්පය කියන්නේ හොඳම ක්ෂේත්‍රයක්. ඡායාරූප ශිල්පිනියක් වීම සාම්ප්‍රදායික කාන්තාවන්ට උරුම රූපලාවණ්‍ය ශිල්පය ආදී දේට වඩා එහා ගිය එකක් වුණත්, ෆොටෝ ගහන්න ආස, ෆොටෝ ගන්න හැකි යුවතියකට ඡායාරූප ශිල්පිනියක් වීම කියන්නේ සැබෑ කරගන්න අමාරු හීනයක් නෙමෙයි.

 

ගෙදර දොරේ වැඩ ටිකට වුණත් අද කාලේ සල්ලි කීයක් තිබුණත් මදි. සැමියා සෙනෙහෙබර ලෙස මුදල් උපයා දුන්නත් තමුන්ටත් කීයක් හරි හොයාගන්න පුළුවන් නම් හොඳයි කියලා ගොඩක් කාන්තාවන්ට හිතෙනවා. ඉතින් මේ විදිහට මොනාහරි පොඩියට පටන්ගෙන පවුලේ දියුණුවට ශක්තියක් වන්න.