ජීවිතයම එළිය කරන හරි ලස්සන ඉටිපන්දම්

මුදල් උල්පතක් මතු කරන අපූුරු කලාව
දෙසැම්බර් 11, 2023

තෙවැනි ඇසකින් ලෝකය දකින මිනිසුන්ගේ මානය බොහෝ දුරය. එලෙසින් පිවිතුරුය. යමෙකුට නව මානයකින් ලෝකය දකිමින් මුළු පරිසරයම සුවඳවත් කරමින් එළිය කළ හැකි නම් එය විශාල භාග්‍යයකි. තෙවැනි මානයකින් ලෝකය දකින ඡායාරූප ශිල්පියෙකුගේ භූමිකාව ද දිග පරාසයක දිග හැරෙයි.

අපගේ සහෘද ඡායාරූප ශිල්පී ගයාන් පුෂ්පික ද එවැනි මානයක් සොය යන යන කලාකරුවෙකි. ඔහු ඡායාරූප ශිල්පියකු ලෙස ඉතා දක්ෂ ලෙසින් කාච සටහන් තබයි. එතැනින් නොනැවැති ඔහු තමාටම අනන්‍ය වූ කලාවක් තුළ ලෝකයක් එළිය කරයි. තරුණී පත්තිරු අතරට ගයාන්ව කැඳවා ගෙන එන්නේ ඔහුගේ අපුරු කලාව ඔබට හඳුන්වා දෙන්නටය. ළඟ එන අසිරිමත් නත්තලට තෑගි දෙන කලාවට අලුත් අරුතක් එක් කරන ගයාන්ගේ ඉටිපන්දම් නිර්මාණ කලාව ලෝකයේ ඉතාම ජනප්‍රියව පවති. එහෙත් තවමත් අපේ රටේ එතරම් ජනප්‍රිය නොවන මේ ඉටිපන්දම් නිර්මාණ කලාව මෙවර අපගේ පාඨකයන්ට මුලින්ම හඳුන්වා දෙන්නේ ඔබට ද ස්වයං රැකියාවක් ලෙසින් මේ කටයුත්ත ආරම්භ කිරීමට මඟ පෙන්වීමක් ලබා දෙන්නටයි.

‘තෑගි දෙන කලාවට වටිනාකමක්‘ යන තේමාව ඔස්සේ නිර්මාණය කරන මේ ඉටිපන්දම් නිර්මාණවල විශේෂත්වයක් තිබෙනවා. ඒ විශේත්වය නිසාම ඔහුගේ නිර්මාණ සඳහා හොඳ ඉල්ලුමක් පවතිනවා. ස්වයං රැකියාවක් ලෙසින් ඔබට ද හොඳ ආදායම් මාර්ගයක් ගොඩනඟා ගන්නට මේ කලාව හොඳින්ම ගැළපෙනවා. සහජ නිර්මාණ කුසලතාවය ඔපවත් කරමින් සිදු කරන ගයාන්ගේ මේ නිර්මාණ සිදුකරන අයුරු හා ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සොයා ගන්නා අයුරු ඔහු අපට පැහැදිලි කළේ මෙලෙසිනි.

මේ නිර්මාණ වලට අපි විවිධ සුවඳ වර්ග එකතු කරනවා. පිච්ච, රෝස, ලැවැන්ඩර් වැනි විවිධ සුවඳ වර්ග රාශියක් තිබෙනවා. ඊට අමතරව අවශ්‍ය පාට හා හැඩයට අනුව තමයි ඉටිපන්දම නිර්මාණය කරන්නේ.

විශේෂයෙන්ම මේ ඉටිපන්දම් නිර්මාණ රැඳවීමට අවශ්‍ය භාජනය (Contener) සකස් කරන්නේ සෙරමික්, වීදුරු හා මැටි වැනි දේ යොදාගෙන. ඒ නිසා අපේ නිර්මාණවල වටිනාකම වැඩියි. මේ නිර්මාණවල වටිනාකම වැඩි නිසා ඕනෑම උත්සවයකට තෑගි දෙන්න පුළුවන්. මංගල උත්සවයකට, උපන් දිනයකට, සංවත්සර උත්සවයකට විතරක් නොවෙයි නත්තලට, අවුරුද්දට වුණත් තෑගි දෙන්න වටිනවා. මේ ඉටිපන්දම එක දවසක් පත්තු කරලා ඉවර වෙන්නේ නැහැ. කාලයක් සිහිවටනයක් ලෙසින් නිවෙසක අලංකාරයට තියන්න පුළුවන්.

ඇත්තට දැන් වෙළෙඳපොළේ තිබෙන නිර්මාණ සඳහා භාවිතා කරන භාජනයට වැඩි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිර්මාණ වැඩි කාලයක් සිහිවටනයක් ලෙසින් නිවෙසක අලංකාරයට තියන්න පුළුවන්කමක් නැහැ.

සාමාන්‍යයෙන් අපි දෙන තෑග්ගක් ඒ දෙන කෙනා සතුටු වෙන වටිනාකමක් ඇති දෙයක් දෙන්න පුළුවන් නම් වටිනවා.

අපේ මේ ඉටිපන්දම සඳහා යොදා ගන්නා වර්ණය පවා තීරණය කරන්නේ සේවාදායකයාගේ අවශ්‍යතාවයට. සමහර අවස්ථාවල මංගල උත්සව සඳහා තේමා වර්ණයක් යොදා ගන්නා අවස්ථා තිබෙනවානේ. එවැනි අවස්ථාවකට ගැළපෙන වර්ණයෙන් අපට ඉටිපන්දම වර්ණ ගන්වන්න පුළුවන්.‘

ගයාන් සතුව මෙවැනි නිර්මාණ රාශියක් පවති. ඒ සියලුම නිර්මාණ එකිනෙකට වෙනස් වෙයි. එසේම එම නිර්මාණවල වටිනාකම ද ඉහළයි. මේ නිර්මාණ සඳහා දැන් හොඳ ඉල්ලුමක් පවතින බව ද ඔහු සඳහන් කරයි. ඔහුගේ මේ නිර්මාණ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය හා උපකරණ මිල දී ගත හැකි ස්ථාන ද බොහෝ පවතී. ඒ සෑම දෙයක් පිළිබඳ විස්තර ලබාදෙමින් ඔබට ද මේ නිර්මාණ කිරීමට මඟ පෙන්වීමට නිබඳවම ඔහු කැමැත්තෙන් සිටියි.ඔබත් තම නිර්මාණශීලීත්වයෙන් ජිවිතය ජයගන්නට උත්සාහ කරනවා නම් තරුණී දුරකථන අංකයට 011 - 2429592 කතා කරන්න. උපදෙස් ලබාගන්න.

 

උපදෙස් -  ගයාන් පුෂ්පික