බබාට හුරුබුහුටි බේබි බෑගයක්

දෙසැම්බර් 25, 2023

 

ලෝකේ තියෙන හොඳම දේවල් දරුවන් වෙනුවෙන් තෝරා ගන්නට ආදරණීය මවුවරුන් නිරන්තරයෙන්ම වෙහෙස වෙනවා.
ආහාර වර්ග, ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන, සෙල්ලම්බඩු, ඇඳුම් පැලඳුම් මේ මිලදී ගැනීම් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා.

 

ඉතින් ඔබේ අලුත උපන් බිලිඳා වගේම කුඩා දරුවන් වෙනුවෙන් ඔබේ තේරීම ඉතාමත් නැණවත් එකක් විය යුතුමයි. ගමනක් බිමනක් යද්දි පොඩ්ඩාගේ අඩු වැඩිය දාගෙන යන්න ඉඩකඩ තියෙන බේබි බෑග් එකක් නම් තිබිය යුතුමයි. ඒත් ඉතින් හිතේ හැටියට ඉඩ තියෙන බේබි බෑග් එකක් හොයාගන්න එකනම් ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසාම කල්පවතින බේබි බෑගයක් තමන්ටම මසාගත හැකි නම් කෙතරම් වටිනවා ද? හැමදේම ගණන් කාලේ ඒ වගේ දේකිනුත් මුදලක් ඉතිරිකර ගන්න පුළුවන්. එහෙම නම් අපි මේ විදිහට අපූරු බේබි බෑගයක් නිර්මාණය කරලා බලමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

බේබි බෑග් සඳහා රෙදි මීටර් 1 1/2ක්

වයර් අවශ්‍ය වර්ණයකින්

No 05 සිප් අවශ්‍ය වර්ණයකින්

ලයිනින් සඳහා රෙදි මීටර් 3/4ක්

 

රෙදි කපා ගන්නා ආකාරය

 

පළමුව රූප සටහන්වල පෙන්වාදී ඇති පරිදි No 1 ඉදිරිපස සහ පිටුපස පළු 2 දී ඇති දිග හා පළල අනූව කොටස් දෙකක් කපා ගන්න. කපා ගැනීමේදී කවාකාර හැඩය ඇද කපාගන්න. No 2 අඩිය කොටස ද දිග සෙන්ටිමීටර් 33ක් සහ පළල සෙන්ටිමීටර් 21 අනුව එක කොටසින් කොටස් 2ක් කපා ගන්න. No 4 පොකට් එකද කොටස් 2ක් කපා ගන්න. No 5, බෑගයේ යට කොටස සඳහා සිප් බෝඩර් එකකින් ද රෙදි කොටස් එකක් කපා ගන්න. No 6 බෑගයේ යට සිප් බෝඩරය ඇල්ලීම සඳහා එක රෙදි කොටසක් කපා ගන්න. No 7 බෑගයේ බෑගයේ දෙපැත්ත ඇතුළු පැත්ත සඳහා ලයිනින් රෙදි කොටස් 2ක් කපා ගන්න. හැඩලය සඳහා No 8 න් ද රෙදි කොටස් දෙකක් කපා ගන්න. මෙම බේබි බෑගය රෙදිවලින් මසා ගන්නේ නම් ලයිනින් සහ තුනී පැඩින් ද අවශ්‍ය වේ.

 

මසා ගන්නා ආකාරය

 

පළමුව No 1, ඉදිරිපස පිටුපස පළු දෙකට No 8 හැඩලය පොකට් එකෙන් වැසෙන සේ ඉදිරිපස සහ පිටුපස පළු දෙකට අල්ලා ගන්න. පසුව No 4 පොකට් දෙක ඉදිරිපස සහ පිටුපස පළු දෙකට අල්ලා ගන්න. ඉන්පසු මෙම ඉදිරිපස සහ පිටුපස පළු දෙක වටේට වයර් අල්ලා ගන්න.

දැන් No 3 සිප් බෝඩර් කොටස් දෙකේ කෙළින් පැති දෙකට සිප් එක අල්ලා ගන්න. No 7 ලයිනින් කොටස් දෙක කණපිට පැත්තෙන් දෙපැත්තට අල්ලා ගන්න. No 5 යට කොටස සඳහා සිප් බෝඩර් එක ගෙන එයට ද සිප් එක අල්ලා ගන්න. සිප් එක අල්ලාගත් පසු No 6 රෙදි කොටස ගෙන එහි එක පැත්තකට අල්ලා මසාගන්න.

 

අඩිය සාදා ගැනීම සඳහා No 2 රෙදි කොටස ගෙන එහි වටේට වයර් එක අල්ලා ගන්න. එලෙස අඩිය කොටස් දෙකටම වයර් අල්ලා ගන්න.

බෑගය මූට්ටු කිරීම සඳහා ඉදිරිපස සහ පිටුපස පළු දෙක ගෙන එහි කවාකාර හැඩ පැත්තට No 3 සාදාගත් සිප් බෝඩරය අල්ලා ගන්න. ඉන්පසු යට කට වටේ වයර් කරගන්න. No 2 අඩියේ හරි මැද ලකුණුකර No 5 සහ No 6 වලින් සාදාගත් සිප් බෝඩරය වයර් කරගත් අඩිය වටේට අල්ලා ගන්න. පිටුපස පළුවේ මැද ලකුණුකර No 6 හි මැද ලකුණුකර සාදාගත් අඩිය කොටස සිප් බෝඩරය, සිප් බෝඩරයේ මැදට තබා වටේට අල්ලා ගන්න.

ඉන්පසු කලින් සාදාගත් අඩිය කොටස බෑගයේ උඩින් සිප් එක අල්ලා ගන්න. අවසානයේ ඇතුළත පයිපින්කර මසා නිමකර ගන්න.