සොඳුරු වර්ණ රටා මවන අලුත්ම ඇන්තූරියම් මෙන්න

ජනවාරි 1, 2024

 

නිවෙසක් හැඩවැඩ වන්නට නම් පුංචියට හෝ ගෙමිදුලක් එහෙමත් නැතිනම් හරි අලංකාරයට වවාගත් මල් පෝච්චියක් දෙකක්වත් තිබිය යුතුමයි.

කුඩා හෝ මිදුලක් නැති තට්ටු නිවාස සංකීර්ණයක ජීවත්වන කාන්තාවක වුවද තම ගෙතුළ තබා නෙත සිත පිනවා ගන්නට මල් පැළයක් දෙකක් වවා ගන්නට උනන්දු වන්නීය. ඒ සෑමදාමත් මල් සහ කාන්තාවන් අතර පවත්නා නොබි‍ෙඳනා බැඳීමක ප්‍රතිඵලයක් ලෙසිනි.

මේ විදිහට තමන්ගෙ ගෙවත්ත හෝ ගෙතුළ සරසා ගන්නට මල් වවන බොහෝදෙනකු ඇන්තූරියම් ශාකය සඳහා වැඩි ප්‍රියතාවයක් දක්වති. ඊට අමතරව ඇන්තූරියම් වගාව යනු ව්‍යාපාරික මල් වගාව තුළ අතිශයින් ලාබදායයී, ඉහළ ආදායමක් ලබාගත හැකි කදිම ස්වයං රැකියාවක් ද වෙනවා.

ඉතින් ඒ නිසාම මේ දිනවල මල් වෙළෙඳපොළ තුළ සැරිසරන නවතම ඇන්තූරියම් වර්ග සහ ඒවායේ විශේෂත්වයන්, මිල ගණන් වාගේම මේ ඇන්තූරියම් වගා කරන නවතම ක්‍රම, භාවිත කරන පොහොර, බෙහෙත් ආදිය ගැන කතාබහට ලක් කරන්නට අප සිතුවා. එමඟින් මේ දිනවල මල් වෙළෙඳපොළ තුළ සැරිසරන අලුත්ම ඇන්තූරියම් වර්ග ගැන දැන ගන්නටත් ඒවා ඔබ සතු කර ගන්නටත් හැකි වේවි.

මල් ලෝකයේ රැජන හැටියට හඳුන්වන ඇන්තූරියම් මල සොඳුරු වර්ණ රටා බොහොමයකින් වාගේම ප්‍රභේද විශාල ප්‍රමාණයකින් සමන්විතයි. දැනට මල් වෙළෙඳපොළ බබළවන ප්‍රභේද බොහොමයක් බැංකොක්වලින් අපනයනය කළ ඒවාවන අතර මෙරට මල් වගාකරුවන් විසින් සොයාගත් නව නිපයුම් කිහිපයක් ද දැකිය හැකියි.

ඇන්තූරියම් ශාක දෙකක මල් පරාගනයෙන් හටගන්නා බීජ පැළ බවට පත්කර එමඟින් ලබා ගන්නා මල් ඉතාමත් දැකුම්කලු බවින් යුක්ත අතර ඒවා එකකට එකක් වෙනස්ය.

දැනට ලංකාවේ මල් වෙළෙඳපොළ තුළ ඉහළම අගයක් ගන්නේ මැජික් රෙඩ් ප්‍රභේදයයි. මල් සහිත මේ මැජික් රෙඩ් ප්‍රභේදය රුපියල් 10,000ක් වැනි මිලක් සහිතය. ඊට අමතරව මෙරටින්ම නිෂ්පාදනය වූ ෆ්ලෑෂ් ප්‍රභේදය ද ඉතාමත් ඉහළ අගයක් ගන්නා අතර මේ දිනවල වැඩි දෙනකුගේ අවධානය දිනා ගන්නා ඇන්තූරියම් මල බවට පත් වී ඇත්තේද එයයි.

 

වඩාත් ජනප්‍රිය ඇන්තූරියම් ප්‍රභේද

 

මැජික් රෙඩ්

පර්පල් ෆ්ලෑෂ්

අම්බුළුවාව ෆ්ලෑෂ්

අස් බැරිලියන්ට් රෙඩ්

අල්ටිමෝ

ශිබෝරි

බ්ලැක් කාඩිනල්

බ්ලැක් නයිට්

බ්ලැක් ලව්

බියුටි බ්ලැක්

ලිවියම්

සෆාරි

මේ එක් එක් ප්‍රභේදයේ සුවිශේෂිතා අපි ලබන සතියේ සිට හඳුනා ගනිමු.

 

ඉදිරිපත් කිරීම

නිලූ ප්ලාන්ට් නර්සරිහි,

නිලුකා වසන්ති