සල්ලි කඩන අපේ සල්ලි ගහ මැජික් රෙඩ්

ජනවාරි 8, 2024

 

මේ දිනවල මල් ලෝකයේ ඉහළින්ම බබළන, වැඩිදෙනකුගේ අවධානයට පාත්‍ර වූ ඇන්තූරියම් නාමය වන්නේ මැජික් රෙඩ්.

දැනට අවුරුදු කිහිපයකට පෙර නෙදර්ලන්තයෙන් පටක ලෙසින් රැගෙන ආ මේ ඇන්තූරියම් ප්‍රභේදය රසායනාගාර ආශ්‍රිතව රෝපණය කරගෙන තිබේ. අනතුරුව පසුකාලීනව එය මෙරට දක්ෂ මල් වගාකරුවන්ගේ හැකියාව නිසා සීමිත ප්‍රමාණයක් බෝ කරගෙන ඇත.

දැනට ලංකාවේ මල් වෙළෙඳපොළේ ඇති මිල අධිකම ඇන්තූරියම් වර්ගය තමයි මේ මැජික් රෙඩ් කියන්නෙ. වර්තමානයේ මල් සහිත මැජික් රෙඩ් ශාකයක් රුපියල් 100000ක් වැනි මිලකට අලෙවිවන බව පැවසුවහොත් ඔබ පුදුමයට පත් වේවි.

මෙය අතිශයින්ම සොඳුරුය. අනෙකුත් ඇන්තූරියම් ප්‍රභේදයන්ට සාපේක්ෂව බලද්දී මැජික් රෙඩ් මලේ කෙමියේ බීජ විශාල වශයෙන් ඉදිරියට නෙරා ඇති බව ඔබට දැකිය හැකියි. ඇත්තටම කීවොත් එය දකින ඔබට බඩඉරිඟු කරලක හැඩය සිහියට නැඟෙනවා නොඅනුමානයි.

ඒ වගේම මේ ඇන්තූරියම් ප්‍රභේදය වෙනත් ප්‍රභේදවලට වඩා හැඩයෙන් විශාල ශාකයක් සහ විශාල පත්‍ර සහිතව දැකිය හැකියි. එමෙන්ම මැජික් රෙඩ් මල ඉතාමත් බරකින් යුතු නිසා නිතරම ගහෙන් බිමට පාත් වූ ස්වභාවයකින් ද යුතු වෙනවා.

අලංකාරය ගැන කතා කරද්දී මැජික් රෙඩ් කියන්නෙ බලංගොඩ ප්‍රදේශයට ඉතාමත් ලස්සනට, පුදුමාකාරව සුන්දරව මල් පිපෙන පළාතක්.

ව්‍යාප්තිය

බොහෝ වේලාවට ඇන්තූරියම් ප්‍රභේදයන්හි දැනට පැළ බෝ කරන්නෙ මවු ශාකය කොටස්කර වෙනම සිටුවා පැළ කරගැනීමෙනි.

නමුත් මැජික් රෙඩ් සමහර ප්‍රදේශවලදී මවු ශාකයෙන්ම පැළ විශාල ප්‍රමාණයක් හටගන්නා අවස්ථාද දැකිය හැකියි.

අලෙවිය

ලංකාවේ පවතින මිල ගණන් යටතේ විශාලම වටිනාකම තියෙන මල් වර්ගය මැජික් රෙඩ්. ඒනිසා සුළු පරිමාණයේ මල් ව්‍යාපාරයක් කරන කෙනකුට මේ පැළයක් මිලදී ගැනීම තරමක් අපහසු කටයුත්තකි. නමුත් අමාරුවෙන් හෝ මුදලක් වැයකර පැළ ටිකක් සකසා ගතහැකි නම් සතුටුදායක ආදායමක් ලබාගත හැකි ඇන්තූරියම් ප්‍රභේදයක් තමයි මැජික් රෙඩ්. කොටින්ම කීවොත් මැජික් රෙඩ් කියන්නෙ සල්ලි කඩන අපේ සල්ලි ගහ තමයි.

 

ඉදිරිපත් කිරීම

නිලූ ප්ලාන්ට් නර්සරිහි,

නිලුකා වසන්ති