හරිම ලස්සනයි මේ ශිබෝරි

ජනවාරි 22, 2024

 

ඉදිරිපත් කිරීම

නිලූ ප්ලාන්ට් නර්සරිහි,

නිලුකා වසන්ති

 

ඉතාමත් ප්‍රියමනාප දැක්කම ආයෙත් සැරයක් හැරිලා බලන්න හිතෙන ලස්සනම ලස්සන ඇන්තූරියම් මලක් තමයි ශිබෝරි කියන්නෙ. වර්තමානයේ මිල අධික වාගේම තරමක් දුර්ලභ ඇන්තූරියම් ප්‍රභේදයක් හැටියට තමයි මේ ශිබෝරි හැඳින්වෙන්නේ.

 

ශිබෝරි ප්‍රභේදය මුලින්ම ලංකාවට පැමිණි ආකාරය පිළිබඳ සොයා බලද්දි ඒ ගැන දෙකක් සඳහන් වෙනවා. ඒ එක් කරුණක් තමයි දැනට වසර 15කට පමණ පෙර නෙදර්ලන්තයෙන් කැපුම් මල් සඳහා බෝ කිරීමට රැගෙන එන ඇන්තූරියම් ශාක අතරේ මේ ශිබෝරි පඳුරක් තිබීම. අනතුරුව මල් වගාකරුවන් විසින් එයින් මෙරට තුළ ශිබෝරි ව්‍යාප්ත කරගත් බව සඳහන් වේ.

 

ඊට අමතරව තවකෙකුගේ අදහස වන්නේ දේශීය ඇන්තූරියම් පරාගනය ඔස්සේ මෙය බිහි වූ බවකි. සීමිත පිරිසක් අතරේ පමණක් ව්‍යාප්ත වූ නිසාම මෙය වටිනාකමින් ද වැඩි වූ බව පැවසේ. ඒ කෙසේ වුවත් දැනටත් වටිනාකමින් ඉහළ, දුර්ලභ ඇන්තූරියම් ප්‍රභේදයක් ලෙසින් වෙළෙඳපොළ තුළ සිය නාමය සනිටුහන් කරලීමට ශිබෝරි මල් කුමරිය සමත්ව සිටින්නීය.

 

වටිනාකම

 

මුලින්ම කියන්න ඕනෙ අපි මෙහි සඳහන් කරන්නෙ දැනට ලංකාවෙ විශාලම ඔන්ලයින් මාකට් එක ගැන පමණයි. ඒ මොකද කිව්වොත්

පසුගිය වසර තුනක පමණ කාලයක සිට මෙරට ඇන්තූරියම් ව්‍යාපාරය ඔන්ලයින් ව්‍යාපාරයක් ලෙසින් ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ අනුව මෙම ශිබෝරි ශාකයක් ඔන්ලයින් වෙළෙඳපොළ තුළ රුපියල් 100000කට වැඩි මිලකට ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි වූ බව පැවසුවහොත් ඔබ පුදුමයට පත් වේවි. අනතුරුව මෙය ඉල්ලුමට සැපයුම නැති වටිනා දුර්ලභ ශාකයක් සහ මිල අධිකම ප්‍රභේද අතරට ඇතුළත් වූ ශාකයක් බවට පත් විය.

මේ දිනවල මලක් සහිත එක් ශිබෝරි ශාකයක මිල රුපියල් 60000 සිට ඉහළට ඔබට ඔන්ලයින් වෙළෙඳපොළෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. දැනටත් ලංකාවේ සීමිත මල් වගාකරුවන් පිරිසක් සතුව පමණක් දක්නට ලැබෙන මේ ශාකය විවිධ හැඩයෙන් ශිබෝරි වර්ග තුනක් බිහි කිරීමට සමත් වී ඇත. එමෙන්ම බැංකොක්වලින් රැගෙන එන බඳුන්ගත පැළවලට වඩා ප්‍රමාණයෙන් ඉතාමත් විශාල ශාකයක් තමයි මෙරට තුළ දකින්නට ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ වනවිට ලංකාව තුළ නැවතත් වද වීමට ලක් වෙමින් පවතින ශාකයක් තමයි ශිබෝරි කියලා කියන්නෙ.

 

පැළ ලබා ගැනීම

 

අනෙකුත් ඇන්තූරියම් වර්ග හා සමානවම මවු ශාක කපා පැළ ලබා ගැනීමෙන් තමයි දැනටමත් මේ ශිබෝරි බෝ කරගන්නේ.මහනුවර, කුරුණෑගල, ගම්පහ, බලංගොඩ වගේ ප්‍රදේශවල ඉතාමත් අලංකාර මල් හට ගැනීමත් මේ ශිබෝරි සතු විශේෂත්වයකි.