ඉවතලන උණ බටවලින් විචිත්‍රවත් මල් බඳුනක්

ජනවාරි 22, 2024

 

ඔයා හරිම ශක්තිමත් කෙනෙක්. තනිවම බිංදුවේ පටන්ම ඔයාවම ගොඩනඟන කෙනෙක්‘ මෙහෙම වචන පෙළක් කවදාහරි දවසක කවුරුම හරි ඔයාටත් කියාවි. ඒ අලුත්ම ඉර පායන දාට ඔයාගෙ ගමනාන්තය දිනුම් කණුව වී අහවරයි. එතෙක් මෙතෙක් ආ ගමනේ අතරමඟ නතර වෙලා අනන්තවත් අඬපු තැන් ඇති. කාටවත් නොපෙනෙන්නට කඳුළු කැට සඟවා ගත්තා නේද. එහෙම මුකුත්ම නොවුණා වගේ ලෝකෙට සිනහ මුහුණ පෙන්නලා ඇති. ඒ සියල්ලට තිත තබන්නට හැකි මාවත වෙතයි ඔබ මේ දිනෙන් දින ළඟා වෙන්නේ. ඇත්තටම ‘වියළි මලකට කළ නොහැක්කක් නොමැත.” මෙය නොබෝ දිනෙකින් ඔබේ මුවෙන් පිටවනු නොඅනුමානය.

අපේ කථානායක ප්‍රවීණ මල් සැකසුම් ශිල්පී සමන් ජයලත් මහතා තව තවත් කාර්යබහුල වී ඇත. ඒ වියළි මලින් ඔබේ ජීවිතයම ලස්සන කරන්න තරුණී අප හා එක් වූ දින පටන් දස දෙසින් එන ඇමතුම් ඔහු මෙලෙස අවිවේකීකර ඇත.

ඉවතදමන වළං කැබැල්ලකින් එහෙමත් නැතිනම් ගහකින් වියළී වැටෙන පරඬැල්වලින් මෙච්චර සල්ලි හම්බ කරන්න පුළුවන්ද? මේ විදිහට අසන පැන නිසාම තරුණී පත් ඉරුවකින් අපි සඳහන් කරන අවට පරිසරයේ ඉතුරු බිතුරු දේ සල්ලි කරන විදිහ පිළිබඳ පාඨක ඔබ සැබෑම අවදියෙන් පසුවන බව සාක්ෂි ගෙන දේ. ඔව් ! එක්වන්න අප සමඟ. දවසක ඔබටත් ඔබේ දියුණුවේ අඩිතාලම වියළි මලක් යැයි මෙලෙස හඬනගා කිව හැකියි. ලස්සන හීීන පාට කරන්න කවුරුවත්ම හිතපු නැති වියළි මලකට, කොළයකට පුළුවන්.

වියළි මලින් ජීවිතයම ලස්සන කරමු. මල් සැකසුම් කලාවේ නිම් වළලු සොයා යන ගමනේ දැන් ඔබ දන්නවා අද මුළු මහත් ලෝකයේම ට්‍රෙන්ඩ් එක වියළි මල් කලාව බව. ලෝකයේම නව ආදායම් මාර්ග අතර ඉහළ පෙළේ තිබෙන සල්ලි උල්පත ද මෙයයි.

මේ බඩ ඉරිඟු ගහක කොටස්වලින් කරන නිර්මාණයක අපූර්වත්වයයි.

මෙම මල් රඳවනය සාදාගෙන තිබෙන්නේ ප්‍රමාණයන් දෙකකටය. පළමුව ඔබට අවශ්‍ය ප්‍රමාණයන්ට උණ බට කැබැලි දෙකක් කපා ගන්න. ඒ සඳහා සාමාන්‍ය උණ බටයක් ගෙන අඩියක් උස අඟල් 4ක් පළල ප්‍රමාණයට එක කොටසක් කපා ගන්න. මීළඟ කොටස එයට තරමක් අඩුවෙන් හෝ වැඩියෙන් කපා ගන්න. එම උණ බට රඳවා ගැනීම සඳහා කොට පෙත්තක් උපයෝගීකර ගන්න. කොට පෙත්තක් යනු ගසක කඳෙන් ලබාගන්නා ලී පතුරකි. ඔබට මෙවැනි ලී පතුරු ඕනෑ තරම් ගෙවත්තෙන් සොයා ගත හැකියි. මේ ලී පතුරු කොට පෙති ලෙස සකසා කල් පවත්වා ගැනීමට වාර්නිෂ් ආලේප කරන්න. ඔබට මෙවැනිම කොට පෙති සිය ගණනක් එක් ගසකින් ලබාගත හැකියි. නිවෙසේ කාලය ගත කරන ඔබට අතට මුදලක් සොයාගන්න කදිම මඟක්.

දැන් බලමු කොට පෙත්තක් උඩ රඳවා ගත් උණ බටය වටා නිර්මාණය සිදුකර ගන්නා අන්දම. ඔබ නිර්මාණය සකසා ගැනීමට පෙර මෝරපු දිය ලබු ගෙඩියක් ගෙන එහි මදය ඉවත්කර මඳ පවනේ වේළා ගන්න.
මෙය ස්වභාවික වර්ණයම රඳවා ගැනීමට කරන උපක්‍රමයකි. දැන් ඇළකින් දොළකින් ගලාගෙන යන පුංචි කොට කැබැල්ලක් ගන්න. අප ඔබට ඡායාරූපවලින් පෙන්වා දී ඇති පරිදි මේ රඳවන කීපය තබා මල් බඳුන සකසා ගන්න.

දැන් නිර්මාණශීලිව මල්, කොළ, ඉති, වැල් එකතුකර ගන්න. ඒවා වියළා ගැනීමේදී අඳුරු කුටියක උඩ අතට එල්ලීම සිදු කළ යුතුයි. ස්වභාවික වර්ණවලට අමතර තවත් වර්ණ එකතුකර ගැනීමට කුකුල් සායම් උපයෝගීකර ගත හැකියි. නැතිනම් වෙළෙඳපොළෙන් ස්ප්‍රේ ටින් ගෙන ඒවා භාවිත කරන්න පුළුවන්.

නිර්මාණය සාර්ථකව රඳවා ගැනීම සඳහා ඩ්‍රයි ෆෝම් එකක සම්බන්ධකර ගත යුතුයි. ඉන්පසුව මල් බඳුන තබා ගන්න. බඳුන පිරවීමට හිස්තැන් ඇති තැන්වලට බඩ ඉරිඟු පොතු එකතුකර ගන්න. මෙහිදී බජිරිවලට කම්බි දමා රැඳවීමෙන් බඳුනේ උස පෙන්විය හැකියි.

වියළි මල් කලාවේ තවත් පියවරකින් ලබන සතියේ හමුවෙමු.

 

ඡායාරූප - ශාන් රූපස්සර