නෙත පිනවන සිත සනහන යූ එස් බ්‍රිලියන්ට්

පෙබරවාරි 12, 2024

 

ගෙමිදුල සුන්දරත්වයෙන් පුරවනා අතරම අතමිට සරු කරගත හැකි කදිම ආදායම් මාර්ගයකි ඇන්තූරියම් වගාව. නෙත පිනවන අලංකාර මල්ගොමු අතරේ සැරිසරන ඔබට වෙහෙස මහන්සියක් නොදැනීම කළහැකි වගාවකි මේ.

අදත් ඉතාමත් ලස්සන ඇන්තූරියම් ශාකයක් ඔබට හඳුන්වා දෙන්නට අපි සූදානම්. ඒ වටිනාකමින් ඉහළම වර්ග අතරේ වැජඹෙන තවත් සොඳුරු ඇන්තූරියම් ප්‍රභේදයක් වුණු යූ එස් බ්‍රිලියන්ට් (u s briliyant).

මෙය මෑත කාලිනව ලංකාවේ මල් වගාකරුවන් අතරේ ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන ඉතා අලංකාර ඇන්තූරියම් ප්‍රභේදයකි.

මුල් කාල වකවානුවේ මේ අපූරු ඇන්තූරියම් ප්‍රභේදය වැඩි දෙනෙකු අතරේ එතරම් දක්නට නොලැබිණි. කෙසේ නමුත් මෙය ඇන්තූරියම් වගාකරුවන් කිහිපදෙනෙක් පමණක් වගාකර අනතුරුව කෙමෙන් කෙමෙන් ව්‍යාප්ත වන්නට පටන් ගත් අතර වර්තමානය වනවිට කුඩා හා මහා පරිමාණ වගාකරුවන් අතරේ නැතිවම බැරි එක් ශාකයක් වී හමාරයි.

 

වටිනාකම

යූ එස් බ්‍රිලියන්ට් වටිනාකමින් ද ඉහළ ශාකයකි. කොරෝනා සමයෙහි දී මේ එක් ශාකයක් රුපියල් 80000ක මිලකට ඔන්ලයින් වෙළෙඳපොළේ අලෙවි විය. එම අවධියේ සිය අස්වැන්න හොඳින් රඳවා තබා ගත් කිහිපදෙනා තමන්ගේ ශාක ඔන්ලයින් අලෙවියට පෙළඹුණ අතර එමඟින් ඉහළ ආදායමක් ලබාගත්තේය.

එම නිසාම ඔවුන් හරහා සුළු පරිමාණ වගාකරුවන්ට ද එය ලබා ගැනීමට හැකියාව ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙසින් මෙය ලංකාවෙ තුළ ඉක්මනින් ව්‍යාප්ත විය. මෙලෙස ව්‍යාප්තිය වැඩි වූ නිසාම වර්තමානය වනවිට එහි මිල තරමක් පහළ මට්ටමකට පැමිණ ඇත.

ඒ අනුව අද දවස වනවිට මල් 6 ,7ක් පිපුණු බ්‍රිලියන්ට් මවු ශාකයක් රුපියල් 35000ක් වැනි මිලකට ඔන්ලයින් වෙළෙඳපොළ තුළ අලෙවි වේ.

ඉතාමත් මනරම්, බැලූ කෙනෙකුට නැවතත් හැරී බැලීමට ආසාව ඇති කරන ලස්සන මලකට හිමිකම් කියන්න පුළුවන් ශාකයක් තමයි යූ එස් බ්‍රිලියන්ට් කියන්නෙ.

 

මවු ශාකයෙන් පැළ

මෙයද අනිත් ඇන්තූරියම් ප්‍රභේද හා සමානව මවු ශාකයක් කපා පැළ ලබා ගත හැකියි. ඒනිසාම මෙහි සුන්දරත්වයට ලොබ බඳින මල් ලෝලීන්ට ඉතා ඉක්මනින් පැළයක් ලබා ගැනීමට හැකි වේවි.

ඒ වාගේම මෙම ශාකය නිවෙසේ ඕනෑම ස්ථානයක තබා එතැන සුන්දරත්වයෙන් පුරවා ගන්නට, හැඩවැඩ කරගන්නට හැකි වීමත් මේ ශාකය සතු විශේෂත්වයකි.

ඉතින් ඇන්තූරියම් වගාවක් ආරම්භකර ජීවිතේ ජය ගන්න ඔබත් කැමති නම් ඔබේ වගා බිමට අනිවාර්යෙන්ම එකතු කරගත යුතු තවත් සොඳුරු ප්‍රභේදයයි මේ යූ එස් බ්‍රිලියන්ට්.

 

ඉදිරිපත් කිරීම

නිලූ ප්ලාන්ට් නර්සරිහි,

නිලුකා වසන්ති