අම්මා ගන්න කෑමවල රස මට දැනෙනවා

සැප්තැම්බර් 4, 2019

මුල් මාස තුනේදී අම්මට මං නිසා කරදර වෙන්න වුණා. ඒත් දැන් අම්මා මගේ සුන්දර චාරිකාවේ දෙවැනි කාර්තුව ගත කරන්නේ. ඒ නිසා කරදර ගොඩක් දුරට අඩු වෙලා.

මාව මෙච්චර කල් මිනිස් බබෙක් ද කියලා අඳුර ගන්න බැරි තරමට වෙනස්. ඒත් දැන් මිනිස් කලලයක් බව පැහැදිලිවම පේනවා. සෛල ගොඩක් වෙලා හිටිය මට දැන් හොඳින් ක්‍රියාකරන අවයව, ස්නායු, මාංසපේශි තියෙනවා. සති 13 ක් වෙද්දි (පිළිසිඳිලා සති 11 වෙද්දී) මගේම මහගෙදරට මුත්‍රා පිට කරන්න ගන්නවා. අපද්‍රව්‍ය පිට කරන්න තියෙන එකම විදියත් ඒකයි. කලලාවාරික තරලය හැදෙන්න පටන් ගන්නවා. කලලාවාරික තරලය ගිලලා ඊළඟට මුත්‍රා විදියට පිට කරනවා.

අම්මා ගන්නා ආහාරවල රස සුවඳ කලලාවාරික තරලයේ ද අඩංගුවෙලා තියෙනවා. සුදුලූනූ, පැණිරස, ඉඟුරු වගේ හැම රසයක්ම, ගන්ධයක්ම මට විඳින්න පුළුවන්. අම්මා ගන්නා ආහාර පානවල රස හා ගන්ධය තරලයේ අඩංගුවීමේ රස රහසක් තියෙනවා. මං විවිධ රසවලට ගන්ධයන්ට ඉපදෙන්න කලින් හුරුපුරුදු වෙන්නෙ කලලාවාරික තරලයෙන්. ඉපදුණාට පස්සෙත් කලලාවාරික තරලයේ තිබුණු රසවලට වැඩි කැමැත්තක් දක්වනවා. දිවට හුරු පුරුදු රසවලට තමයි බබාලත් කැමැති. මං කැමැති රස කෑම අම්මා අරගත්තම වැඩිපුර කලලාවාරික තරලය රස බලනවා.

මෙච්චර කල් තුනීවට තිබුණු අස්ථි දැන් ටිකින් ටික ඝන වෙන්න ගන්නවා. මුලින්ම ඝන වෙන්නෙ හිසේ අස්ථියි, දිගම අස්ථියි. අත් පාවල අස්ථි තමයි දිගම. තවම හම නම් තුනියි. එහා මෙහා පේනවා. ඒත් ඉක්මනින්ම සමේ තුනී ගතිය නැති වී ගෙන යනවා.

 

උපදෙස්

නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ

විජිත් විද්‍යාභූෂණ

 

2019/09/04 තරුණි බලන්න