පාසල් දරුවන් අතර ඇස් රෝගයක්

ඔක්තෝබර් 16, 2023

 

ශ්වසන වයිරසයක් බවට වෛද්‍ය නිගමනයක්

හැමවිටම අත් සබන් දමා සෝදන්න

දරුවන් අතර වැඩි වශයෙනුත්, වැඩිහිටියන් අතරත් මේ දිනවල ඇස් රෝගයක් පැතිරෙන්නට පටන් අරන්. දරුවන්ට පාසල්වල දෙවැනි වාර විභාගය පැවැත්වෙන කාලයත් නිසා මවුපියන් වඩාත්ම කලබල වී ඇති බවකුයි දක්නට ලැබෙන්නේ.

ශීඝ්‍රයෙන් පැතිර යන මේ ඇස් රෝග තත්ත්වය වයිරසයක් නිසා සිදු වන්නකි. ද්විතියිකව බැක්ටීරියා ආසාදනයක් කරා යන්නත් පුළුවනි.

ඇසේ සුදුපැහැ කොටස ආවරණය වී ඇති පටලයේ රතු වීමක් බැලූ බැල්මට දැක ගත හැකියි.

 

* එක් ඇසක් හෝ ඇස් දෙකම රතු වී තිබීම

* ඇසිපිය ඉදිමීම

* කබ, කඳුළු ගැලීම

* ඇස් දැවිල්ල

* ඇස් කැසීම

මේ ඇස් ආශ්‍රිතව දැක ගතහැකි රෝග ලක්ෂණ යි.

 

ආසාත්මිකතාවන් නිසා

විවිධ ආසාත්මිකතාවන් නිසාත් ඇස් රතු වේ. එය ආසාත්මිකතාවටම ආවේණික ලක්ෂණයක් විනා ඇස් රෝගය නොවේ. ආසාත්මිකතාවන් නිසාවන ඇස් රතු වීම කෙනකුගෙන් තවත් කෙනකුට බෝ නොවේ.

 

ස්වසන පද්ධතිය ආශ්‍රිත වයිරසයක්

මේ දිනවල විශේෂයෙන්ම දරුවන් අතරත් ඒ හැරුණු විට වැඩිහිටියන් අතරත් කැස්ස, හෙම්බිරිස්සාව, කිවිසුම් යෑම, උණ වැනි ලක්ෂණත් වැඩි වශයෙන් දැක ගත හැකි නිසා ශ්වසන වයිරස් ආශ්‍රිත එකක් විය හැකි බව වෛද්‍යවරුන් නිගමනය කරයි.

* කබ, කඳුළු වැනි ස්‍රාවයන් නිසා ඇස් රෝග පහසුවෙන් ම බෝවීමට පුළුවනි.

 

මේ සඳහා කළ යුත්තේ කුමක්ද?

ඔබේ දරුවා හෝ නිවෙසේ සිටින අයකුගේ ඇස් රතු වී ඇත්නම්

* පිරිසුදු වතුරෙන් සබන් යොදා මුහුණ, දෑත් හොඳින් සෝදන්න.

* ඇස් ඇල්ලීමෙන්, ඇස් කැසීමෙන් වැළකී සිටින්න.

* කාලෙන් කාලයට මෙවැනි වයිරස් තත්ත්වයන් ඇතිවිය හැකි නිසා කලබල නොවන්න.

* ඇස් රෝගයකදී ඇස් රතුවීම, කබ, කඳුළු ගැලීම සාමාන්‍ය ⁣දෙයකි. ඇස් බොඳවී ඇත්තා සේ පෙනේ නම් අක්ෂි වෛද්‍යවරයකු හෝ වෙනත් වෛද්‍යවරයකු හමුවන්න.

 

කොපමණ දවසක් පවතීද?

වයිරසයක් නිසා හට ගත්තේ නම් සාමාන්‍යයෙන් දින 4 ක 5 ක පමණ කාලයක් පවතීවි. ද්විතියිකව බැක්ටීරියා ආසාදනයක් බවට පත් වූයේ නම් වෛද්‍ය උපදෙස් පතන්නට වේවී.

 

ප්‍රතිජීවක ඖෂධ ගැනීම අවශ්‍ය වේද?

වයිරස් ආසාදන තත්ත්වයක දී කිසිසේත්ම ප්‍රතිජීවක ඖෂධ ගත යුතු නැත. එහෙත් වයිරසය ද්විතියිකව බැක්ටීරියාවක් බවට පත් වූයේ නම් වෛද්‍යවරයකු වෙත යන්නට, ප්‍රතිජීවක ඖෂධ ගන්නට වේවි. බැක්ටීරියා ආසාදනයක් නම් Culture Test එකක් කරනු ලබයි.

කෑම, බීම

සාමාන්‍යයෙන් ගන්නා කෑම හා බීම වර්ගම ගත හැකියි. අන්නාසි, ඉස්සෝ, දැල්ලෝ වැනි උෂ්ණ ආහාර මේ දින කිහිපයේ අවශ්‍ය නම් නොගෙන සිටින්නටත් පුළුවනි. ආහාර සඳහා ආසාත්මිකතාවන් ඇති අය උෂ්ණ ආහාර නොගෙන සිටීම වඩාත් සුදුසුයි.

 

පාසල් නොයවන්න

ඔබේ දරුවා ඇස් රෝගයෙන් පෙළෙන්නේ නම් සම්පූර්ණයෙන්ම සුවවන තුරු එනම් අවම වශයෙන් දින 4 ක 5 ක කාලයක් දිවා සුරැකුම් මධ්‍යස්ථාන, ළදරු පාසල්, පාසල් ⁣නොයවා සිටින්නට වග බලා ගන්න. පුංචි දරුවන් එකට එක් වී සෙල්ලම් කරන නිසා මේ තත්ත්වය ශීඝ්‍රයෙන් පැතිර යයි.

 

නිවෙසේ ඇස් රෝගියකු සිටී නම්

* රෝගියා අනෙක් අයගෙන් වෙන්කර තබන්න.

* පුංචි දරුවකු වෙන්කර තැබීම ප්‍රායෝගික කාරණයක් නොවේවි.

* පුංචි දරුවකුගේ නම් පුළුන් කැබැල්ලක් පොඟවා ඇස ඇතුළු පැත්තේ සිට නාසය පෙදෙසට පිස දමන්න. එක් වරකට එක් පුළුන් කැබැල්ලක් පමණක් භාවිත කරන්න.

* කොට්ට උර, තුවාය විසබීජනාශක යොදා දිනපතා සෝදා දමන්න. මේවා හැකිතරම් තද අව්වේ වියළා ගන්න.

 

කාච පාවිච්චි කරන්නන්

ඇස් කාච පාවිච්චි කරන්නන් ⁣ඇස් රතු වී ඇත්නම් හෝ ඇස් කැසීමක්, දැවිල්ලක් ඇත්නම් එම තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වනතුරු කාච පැලඳ නොසිටීම වඩාත් වැදගත්.

 

උපදෙස් : රිජ්වේ ආර්යා ළමා රෝහලේ

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා