දරුවන්ගේ උණ වලිප්පුවට විසඳුමක් තියේද?

අප්‍රේල් 15, 2024

පුංචි දරුවන්ගේ අම්මලා උණ වලිප්පුවට හරිම බයයි.මොකක්ද මේ උණ වලිප්පුව කියන්නේ?

උණ වලිප්පුව හෙවත් ළමා වලිප්පුව පුංචි දරුවන්ට උණ හට ගත් විට ඇතිවිය හැකි තත්ත්වයකි.

කුමන වයස්‌ කාණ්‌ඩයේ දරුවන්ටද මේ උණ වලිප්පුව හැදෙන්නේ ?

මෙය මාස 5ත් අවුරුදු 5ත් අතර දරුවන්ට වැලඳිය හැකි තත්ත්වයකි. අවුරුදු 5න් පසුවත් ඉඳහිට දෙවරක් තුන්වරක් උණ වලිප්පුව සෑදෙන්නට පුළුවනි.

මාස 5ට අඩු දරුවකුටත් උණ වලිප්පුව තත්ත්වයක් ඇතිවුණොත් ඒ කවර හේතුවක් නිසා දැයි කියා පරීක්ෂා කළ යුතුව තිබේ.

උණ වලිප්පුව සෑදිය හැකි අවස්ථාවන් තිබේද?

ඉතා තදින් උණ ගත්විට ඇතැම් දරුවන්ට උණ වලිප්පුව සෑදෙන්නට පුළුවනි. උණ වැඩි වෙලාවට වඩා උණ වැඩි වේගෙන එන වෙලාවේදී බොහෝ විට උණ වලිප්පුව සෑදේ. උණ වලිප්පුව සෑදෙන්න හේතුවක් නිශ්චිතව තවමත් සොයාගෙන නැත. නමුත් පවුලේ අයට එනම් අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියන් ඇතුළු ළඟම ඥාතීන්ට උණ වලිප්පුව සෑදී තිබේ නම් දරුවාට උණ වලිප්පුව සෑදෙන්නට ඇති ඉඩකඩ වැඩි වන්නට පුළුවනි.

ඒ අවස්ථාවේදී සිදු වන්නේ කුමක්ද?

ඇස් උඩ ගිහින් ඇඟ දරදඬු වේ. සමහරු දරදඬු වීමක් පමණක් සිදුවේ. තවත් සමහරුන්ට දරදඬු වීමත් සමඟ ගැස්මකුත් හට ගනී. ඇස් උඩ ගිය විට සිහිය නැතිවන්නට පුළුවනි.

මෙහිදී කළ යුත්තේ කුමක්ද?

අම්මා, තාත්තා හෝ දරුවා රැක බලා ගන්නා තැනැත්තා කලබල වීම පුදුමයක් නොවේ. එහෙත් කලබල නොවී දරුවා පැත්තට තබා ගත යුතුයි. දරුවාව උස්සාගෙන යන්නේ නම් උඩු අතට නොව පැත්තකට වඩා ගත යුතුයි. එහෙට මෙහෙට දිවීමෙන් කටේ එකතුවන සෙම පෙණහැල්ලට ගොස් මාරාන්තික වන්නට පුළුවනි. හැම විටම දරුවාව වම් ඇලයට හරවා තබන්න. දත කට පූට්ටු වෙනවා යැයි සිතා ඇඟිලි, හැඳි, යකඩ වැනි දේවල් කට ඇතුළට දමන්නට යන්න එපා. ඇඟිලි දමා කට ඇරවන්න යන්නටත් එපා. වම් ඇලේට තැබීමෙන් කටේ එකතුවන සෙම ඒ පැත්තෙන්ම පිටතට ගලාගෙන යාවි.

දරුවා එක්වරම දරදඬු වී ඇද වැටෙද්දී වටේ ඇති උල්මුල් ආදියේ වැදෙන්නට පුළුවනි. ඒ පිළිබඳ හැකි තරම් සැලකිලිමත් වන්නට සිදුවේවි. ඇඳක සිටින්නේ නම් ඇඳේ දාරයේ සිට බිමට වැටී අනතුරක් වන්නට වුවද පුළුවනි

.මෙය කොපමණ කාලයක් පවතීද?

උණත් එක්ක හටගන්නා උණ වලිප්පුව විනාඩි දෙක තුනක් පමණ කාලයක් තිබී නතර වේ. පොඩි වෙලාවක් තිබුණත් අම්මා කෙනකුට ඒ දෙස බලාගෙන සිටීම අපහසු කාරණාවක් විය හැකියි.

විනාඩි තුනකට වඩා වැඩි කාලයක් පවතී නම් ළඟම ඇති රෝහලට වහාම ගෙනයන්න. මේ හැම විටම දරුවා රැගෙන යා යුත්තේ වම් ඇලයට තබාගෙනයි. වාහනයක ගෙන යද්දී දරුවාව වම් පැත්තට හාන්සි කරවගෙන යන්න.

උණ වලිප්පුවට විසඳුමක් තිබේද?

උත්තරය 'නැත' යන්නයි. උණ ඒම සහ උණ වැඩිවීම වළක්වා ගැනීම පමණයි කළ හැකි වන්නේ. උණ වලිප්පුව සෑදෙන සහ කලින් උණ වලිප්පුව සෑදුණු දරුවකුට උණ සෑදෙද්දී නැවත උණ වලිප්පුව හට ගැනීමට ඇති ඉඩකඩ වැඩියි. මීට කලින් උණ වලිප්පුව සෑදුණු දරුවකුට උණ සෑදෙද්දීම පැරසිටමෝල් බරට අනුව අදාළ මාත්‍රාවන්ගෙන් ලබා දීම සැලකිල්ලෙන් කළ යුතු යුතු දෙයකි. පැරසිටමෝල් ලබා දී උණ වළක්වා ගන්නට උත්සාහ කළත් කිසිම විටෙක අධිමාත්‍රාවන්ගෙන් පැරසිටමෝල් ලබා දීම සුදුසු නැහැ. වලිප්පුවට වඩා වැඩි හානියක් ඉන් සිදු වේවී.

දිනකට දිය හැකි උපරිම පැරසිටමෝල් වාර ගණන හතරකි. එය පැය හයෙන් හයට ලබා දිය යුතුයි.

උණ වලිප්පුවට ඒවී යැයි සිතා දිනකට දිය හැකි පැරසිටමෝල් වාර ගණන කිසිසේත්ම වැඩි කළ නොහැකියි. අපි හිතමු පැරසිටමෝල් දීමට ඇත්තේ දවල් 12.00ටයි. දැන් වෙලාව උදේ 10.00 යි. දරුවාට හොඳටම උණ තිබුණා යැයි කියා උණ වලිප්පුවට බයේ තවත්

මාත්‍රාවක් දීමට යෑම කොහෙත්ම සුදුසු නොවේ.

එවිට කළ යුත්තේ කුමක්ද?

ඒ වෙලාවට ඊළඟ පැරසිටමෝල් මාත්‍රාව ලබා දෙන තුරු තාවකාලික සහනයක් ලෙස දරුවාගේ ඉකිලි, කිහිලි ඇල් ජලයෙන් යාන්තමට තෙමන්නට පුළුවනි. හැබැයි දරුවාව නාවන්න, ඇඟ සෝදන්න යන්න එපා. අපි තේරුම් ගත යුතුයි. පිටතින් ඉකිලි කිහිලි තෙමුවාට ඇඟ ඇතුළේ ඇති උෂ්ණත්වය අඩු වන්නේ නැති බව. මින් මහා ලොකු වාසියක් සිදු නොවුණාට දරුවාට පුංචි හෝ සහනයක් ලැබේවි.

ඔළුවට ඕඩික්ලෝන් දැමීමෙනුත් සිදුවන්නේ එවැනි තාවකාලික සහනයක් ලැබීමයි. ඔළුව අල්ලා බැලූ විට සීතලට දැනුණත් ඇතුළතින් උෂ්ණත්වය පවතීවී.

ළමා උණ වලිප්පුවට ඖෂධ තිබේද?

උණ වලිප්පුව සෑදෙන දරුවන්ගේ අම්මලා උණට හරි බයයි. ඒ අය පැරසිටමෝල්වලට අමතරව තද උණට දෙන කුඩු මුල්, බෲෆන් වැනි ඖෂධ දීමට උත්සාහ කරයි. විදෙස් රටවල මෙවැනි ඖෂධ උණ සඳහා ලබා දුන්නත් ලංකාවෙදී උණට සාමාන්‍යයෙන් පැරසිටමෝල් අදාළ මාත්‍රාවන්ගෙන් පමණක් ලබා දේ. විශේෂයෙන්ම වෛද්‍ය අනුමැතිය නැතිව කොහෙත්ම පැරසිටමෝල් හැරුණු විට වෙනත් ඖෂධ උණ සඳහා ලබා ගත යුතු නොවේ.

ලංකාව ඩෙංගු ඇති රටකි. උණ ඇත්තේ ඩෙංගුවලට නම් මෙවැනි ඖෂධ පාවිච්චි කිරීමෙන් ලේ ගැලීම් තත්ත්ව වැනි සංකූලතා ඇතිවීමට පුළුවනි. උණ ඇත්තේ ඩෙංගුවලට නොවන බව තහවුරු කරගත් පසු පෙර සඳහන් කළ NSAID කාණ්ඩයේ ඖෂධ වෛද්‍යවරු නිර්දේශ කරාවී.

එන්නත් ලබා දීමෙන් පසුව වැලඳෙන උණත් උණ වලිප්පුව කරා යා හැකිද?

එන්නත් ලබා දුන්නත් නැතත් ඇතැම් දරුවන්ට ඉතාම තදින් උණ වැඩි වේ. එවිට උණ වලිප්පුව කරා යෑමට පුළුවනි. උණ වලිප්පුව ඇතිවන දරුවකුට එන්නත් දීමේ බලපෑමක් නැත. එන්නතක් ලබා දී ඇඟ රත් වීගෙන එන විට පැරසිටමෝල් අදාළ මාත්‍රාවෙන් ලබා දීම අරඹන්න. උණ වලිප්පුව ඇතිවන දරුවකුට උණ ඇරඹී පැය 48ක් ඇතුළත උණ වලිප්පුව ඒමට පුළුවනි. ඉන්පසු උණ වලිප්පුව ඇති නොවිය හැකියි.

දරුවාට වයස අවුරුදු පහෙන් පසු උණ වලිප්පුව තත්ත්වය බොහෝදුරට මඟහැරී යාවි.

ෆැරන්හයිට් අංශක 100ට වඩා උණ ඇත්නම් පැය හයෙන් හයට පැරසිටමෝල් අදාළ මාත්‍රාවෙන් ලබා දීමට වෛද්‍ය උපදෙස් ලැබේ.

දරුවාට වයස අවුරුද්දක් වන විටදී මොළේ උණ සඳහා ලබා දෙන ජැපනීස් එන්සෆලයිටිස් එන්නට ලබා දිය යුතු වේ. එහෙත් දරුවාට එන්නත ලබා දීමට පෙර උණ වලිප්පුව සෑදී ඇත්නම් එම එන්නත ලබා දීම තවත් වසරක කාලයකින් පමා කෙරේ.

උණ වලිප්පුවෙන් පසු දරුවාගේ මොළයට පසුකාලීනව හානි සිදුවේ යැයි මවුපියන් බිය වෙයි. එහෙත් එය පවතින්නේ විනාඩි තුනක පමණ කාලයක් නිසා එසේ මොළයට බලපෑමක් නැති බව වෛද්‍ය මතයයි. නමුත් උණ වලිප්පුව විනාඩි 15ක පමණ කාලයක් පවතී නම් එය ඉතාම කලාතුරකින් සිදුවන්නකි. එවිට වෛද්‍ය උපදෙස් හා රෝහල්ගත වීම අත්‍යවශ්‍ය වේ.

උණ වලිප්පුවට ඖෂධ නැත. උණ වලිප්පුව වළක්වා ගන්නට ක්‍රමයකුත් නැත. කළ හැකි වන්නේ උණ වැඩිවීම වළක්වාලීම පමණි. තද උණ ඇති විට දරුවාගේ ඇඳුම් ඉවත් කර දරුවාව සුළං වදින තැනක තබන්න. පැරසිටමෝල් නියම මාත්‍රාවෙන් ලබා දීම හා හොඳින් දියර වර්ග ලබා දෙන්න.

 

උපදෙස්:

ළමා රෝග විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ