ප්‍රසව සහ නාරි ගැටලුවලට සුව දෙන මරිජාරිරාසනය

මාර්තු 18, 2024

 

ඔසප්වීම කියල කියන්නෙ වැඩිහිටි කාන්තාවන් හැම කෙනකුගෙම ශරීරයේ මාසිකව සිදු වෙන සංසිද්ධියක්. ඒක ඉතින් අපි හැමෝම දන්නවනෙ.

මේ ඔසප්වීම පවතින දින කිහිපය ඉතින් කාන්තාවන්ට වෙනදා තරම්ම පහසුවෙන් වැඩ රාජකාරි කරගන්න පුළුවන් කාලයක් නෙමෙයි. ඒ දවස්වලට සිදුවන හෝ්මෝන වෙනස්වීම් සහ අපහසුතාවන් නිසා ඒ දවස් ටිකක් කරදරකාරී. ටිකක් නුරුස්සනා ගතිය, මඳ වශයෙන් දැනෙන බඩේ කැක්කුම සහ ඔය පොඩි පොඩි අපහසුතා මේ දවස්වලට සාමාන්‍ය දේවල්. හැබැයි එදිනෙදා ජීවිතේ වැඩ රාජකාරි කරගන්න බැරි මට්ටමට බඩ, කොන්ද සහ කලවා ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන දරුණු වේදනාව නම් සාමාන්‍යයි කියලා කියන්න බැහැ. ගැහැනුන්ට උරුම වේදනා කියලා ඒ වගේ ලක්ෂණ නොසලකා හරින්නත් බෑනේ. ඒ වගේ අමාරුකම් තියන අයට ඒ වේදනාව අඩුකරගන්න පහසු ආසනයක් තමයි අද කියලා දෙන්න යන්නේ.

ඒ විතරක් නෙවෙයි මෙමඟින් කොඳු ඇට පෙළ ආබාධවලටත් සුවයක් ගෙන දෙනවා. ව්‍යායාම් රහිතව සිටීම, එකතැන බොහෝ වෙලා වාඩී වී සිටීම, අධික තරබාරුව ආදී හේතු කාරණා ප්‍රධාන වශයෙන් ඊට බලපායි.

යෝගාසන බොහෝ විට ක්‍රියාත්මක වන්නේ පුද්ගලයාගේ මනෝ කායික රෝග සුවය සඳහායි. සෘෂි භාවිතයෙන් පැවත එන මෙම යෝගවල නිවැරැදිතාව කොපමණ ද යත් අද වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මනුෂ්‍යාට වැලඳෙන මනෝ කායික සුවයට යෝග මඟින් විශාල බලපෑමක් කරනබව සොයාගෙන ඇත.

තමාට ආදරය කරන ඕනෑම කෙනක් පැයක් තමන් වෙනුවෙන් කැපකළ යුතුය. තමන්ට පැයක්වත් ආදරය කළ නොහැකි සැමටම සිදු වන්නේ බෙහෙත් පෙතිවලට ආදරය කිරීමට සිදුවීමයි. දැනට ලෝකයේ ප්‍රසිද්ධ වෛද්‍යවරු ආසියාවේ රටවලට උපදෙස් දී තිබෙන්නේ තමාගේ ශරීරය ගැන උනන්දු නොවුණත්, තමාට නුදුරු අනාගතයේදී ආහාරවලට වඩා බෙහෙත් පෙතිවලට වැඩි මුදලක් වියදම් කිරීමට සිදුවන බවය.

මේ යෝගාසනය ක්‍රමය හඳුන්වා දෙන්නේ එවැනි රෝගවලින් පාලනය වී සෞඛ්‍යසම්පන්න ජීවිතයක් හිමිකර දීමේ අරමුණෙනි.

අද හඳුන්වාදෙන ආසනය මරිජාරිරාසනය යනුවෙන් හඳුන්වයි. මෙය ඉහත සඳහන් කළ මනෝ කායික රෝග සුවය සඳහා පුරුදු පුහුණු විය හැකිය.

 

මෙය පුරුදු පුහුණු වෙද්දී ප්‍රථමයෙන් වජ්‍රාසනයට පැමිණිය යුතුය. වජ්‍රාසනයේ සිට සිරුර ඉදිරියට ගෙන අත් දෙක සහ පා දෙක අතර පරතරය අඩියක් පමණ තබාගන්න. එසේ තබාගෙන නාස්පුඩු තුළින් සෙමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්න. දැන් ඔබ ආසනයේ යෙදීමට සූදානම්. දැන් පළමුවැනි රූපයේ පරිදි නාස්පුඩු තුළින් පෙණහැල්ල පිරෙන්න හොඳින් ආශ්වාස කරන්න. ආශ්වාසකර පිට මැද්දෙන් ඇතුළට හකුළුවා ඉහළ බලා සිටින්න. දෙවැනි ඡායාරූපයෙන් ඔබට පෙන්වන්නේ එම ඉරියව්වයි. එම ඉරියව්ව දෙස හොඳින් බලාගෙන සිටින්න. එම ඉරියව්වේ යෙදෙන විට දෙවැලමිට නොතැබිය යුතුය. නිකට ඉහළට ඔසවා ඉහළ බලමින් ආශ්වාස කරන්න.

 

දැන් තුන රූපය බලන්න. ප්‍රශ්වාස කරමින් නාභිය දෙස බැලිය යුතුය. මෙම අවස්ථාවේ පිටෙහි මාංසපේශීන් ඉහළට එසැවී තිබිය යුතු අතර ඉහළ කොටස පහළට නැඹුරුකර තබාගන්න. මෙම ඉරියව්වේ ඉහළට යාමේදී ආශ්වාසයෙන් ද පහළට යද්දී ප්‍රශ්වාසයෙන් ද සිදු කළ යුතුය. ක්‍රමානුකූල වාර 12 සිට වාර 21 දක්වා මෙම ආසනය යෙදිය යුතුය.

 

මෙම ඉරියව්ව අවසන් වූ පසු දෙඅත්ල පොළවට තද කරගෙන පිටුපසට ගොස් නළල පොළවට තබා ආනන්ද බාලාසනය පුරුදු පුහුණු වන්න. මෙමඟින් කොඳු ඇට පෙළට හොඳ විවේකයක් ලැබේ.

 

ප්‍රතිඵල

 

කොඳු ඇට පෙළ ක්‍රියාකාරීත්වයට අමතරව බොහෝ කාන්තාවන් පීඩා විඳින ප්‍රසව හා නාරි ගැටලු සුව කිරීමටත් මෙය යෝග්‍ය වේ. විශේෂයෙන් අද තරුණියන්ට තිබෙන ප්‍රධාන ගැටලුවක් වනුයේ මාස් ශුද්ධිය ක්‍රමානුකූලව සිදු නොවීමයි. විවාහ වූ කාන්තාවන්ට දරුඵල පමාවන අයටද මෙම ආසනය පිහිට වේ. මෙවැනි ප්‍රතිලාභ රැසක් හිමි මෙම ආසනය නිතර නිතර කාන්තාවන් පුරුදු පුහුණු වීමෙන් යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යා හැකිය.

 

 

උපදෙස් -

ආචාර්ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය