පියයුරුවල වේදනාවක්

මාර්තු 11, 2024

කායිකව සුළු රෝගී තත්ත්වයක් ඇති වූ විගස ප්‍රතිකාර ගැනීමට පසුබට නොවන බොහෝ අය මානසික ව්‍යාකූලතාවයන් හමුවේ බොහෝ විට කිසිදු දෙයක්කර කියා ගත නොහැකිව අසරණ වේ. මානසික රෝගයක් කියූ පමණින් සමාජය එදෙස බලන්නේ ද වපර ඇසිනි. ඒ නිසාම රෝගය සඟවාගෙන සිටීමට ඔවුන් උත්සාහ කරයි. ඔබට ඔබේ මිතුරියට, සහෝදරියට, සහෝදරයාට, මවට, පියාට, දුවට, පුතාට ද එවැනි මානසිකමය ගැටලු තිබිය හැකිය.

ඔබේ ගැටලුව අපට ලියන්න. ව්‍යාකූල වූ ඔබේ මනස සුවපත් කරන්නට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නට අප සූදානම්.

අපේ ලිපිනය මානසික ගැටලු, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

 

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.

 

ප්‍රශ්නය

 

මා 26 හැවිරිදි කාන්තාවක්මි. සැමියාට වයස 27කි. අප විවාහ වී වසර 3කි. මා හට වයස 28ක් වූ පසු දරුවන් සෑදීමට සැලසුම්කර ඇත. විවාහ වූ පළමු අවුරුද්දේදී උපත් පාලන ගිලින පෙති භාවිත කළෙමි. ඉන්පසු කිසිවක් භාවිත නොකළෙමි. දැනට මාසයක පමණ සිට රාත්‍රී කාලයට කුමන ඇලයකට නිදා සිටියත් මාගේ පියයුරුවලින් අධික වේදනාවක් හටගනී. උඩුබැලි අතට පමණක් නිදා ගැනීමට සිදුව තිබේ. මීට පෙරදී මා කුමන ආකාරයකට නිදා ගත්තත් එවැනි වේදනාවක් කිසිදා ඇති නොවීය.

මෙය කුමන ආකාරයේ රෝගයක් ද?

 

පිළිතුර

පියයුරු වේදනා ගෙන දීමට හේතු රැසක් බලපායි. ඉන් බොහොමයකට හේතුව හෝමෝන වෙනස්කම්ය. ඔසප් වීමේදී සිදුවන හෝමෝන පෙරළිය නිසා පියයුරු මෘදු වී වේදනාවට පත් වෙයි. ගර්භිණී සමයේදී ද හෝමෝන වෙනස්කම් නිසා පියයුරු මෘදු වී වේදනාවක් ඇති වෙයි.

වැඩි දෙනෙකු පියයුරු වේදනාවක් ඇති වූ විට පියයුරු පිළිකාවක් කියා බිය වෙයි. එහෙත් පියයුරු වේදනාව පියයුරු පිළිකාවක සුලබ ලකුණක් නොවෙයි.

ඔබට ඇති වී තිබෙන තත්ත්වය හෝමෝන ගැටලුවක් විය හැකිය.

එය හෝමෝන ගැටලුවක් නම් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් වේදනාව අඩුකර ගත හැකිය. පියයුරු රතු වී, පුඩුවලින් ශ්‍රාවයක් පිට වේ නම් හෝ නිතර උණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අවශ්‍යයි. අයිස් තැවීමෙන් තාවකාලික සහනයක් පමණක් ලබා ගත හැකිය.

 

උපදෙස්

විශේෂඥ මනෝ වෛද්‍ය

රූමි රූබන්