සුද යෑම රෝගයක් ද?

අප්‍රේල් 15, 2024

 

කායිකව සුළු රෝගී තත්ත්වයක් ඇති වූ විගස ප්‍රතිකාර ගැනීමට පසුබට නොවන බොහෝ අය මානසික ව්‍යාකූලතාවය හමුවේ බොහෝ විට කිසිදු දෙයක්කර කියා ගත නොහැකිව අසරණ වෙති. මානසික රෝගයක් කියූ පමණින් සමාජය එදෙස බලන්නේ ද වපර ඇසිනි. ඒ නිසාම රෝගය සඟවාගෙන සිටීමට ඔවුන් උත්සාහ කරයි. ඔබට, ඔබේ මිතුරියට, සහෝදරියට, සහෝදරයාට, මවට, පියාට, දුවට, පුතාට ද එවැනි මානසිකමය ගැටලු තිබිය හැකිය. ඔබේ ගැටලුව අපට ලියන්න. ව්‍යාකූල වූ ඔබේ මනස සුවපත් කරන්නට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නට අප සූදානම්. අපේ ලිපිනය මානසික ගැටලු, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

 

ප්‍රශ්නය

38 හැවිරිදි මා දෙදරු මවක්. දැනට මාස දෙක තුනක සිට මාගේ යෝනි මාර්ගයෙන් සුදු පැහැ දියරයක් පිට වේ. එසේ වූ විට සුළු කැසීමක් ද පවතී. මෙය එතරම් දෙයක් නොවන නිසා මා මෙම තත්ත්වය ගැන නොසලකා හැරියෙමි. දැන් සතියක පමණ කාලයක සිට දැවිල්ලක් ද පවතී. කීපදෙනෙක්ගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ මෙය සුද යාමේ තත්ත්වය බව ය. එය රෝගයක් ද? මා ප්‍රතිකාර ගත යුතු ද?

 

පිළිතුර

රෝග ලක්ෂණ අනුව ඔබට ඇත්තේ සුද යෑමේ තත්ත්වයයි. සුද යාමට සහ යෝනි මාර්ගය ආශ්‍රිත කැසීමට හේතු වෙන දිලීර ආසාදනයක් තමයි Vaginal candidiasis කියන්නෙ. මෙය ඉතා සුලබ රෝග තත්ත්වයක්. කාන්තාවන්ගෙන් 75%කටම කෙදිනක හෝ මෙම ආසාදන තත්ත්වය ඇතිවෙන්න ඉඩ කඩ තිබෙනවා. ඕනෑම වයසකදී දිලීර ආසාදන තත්ත්වයන් ඇතිවිය හැකි නමුත් මෙය වයස 30 – 49 ත් අතර කාන්තාවන් අතර බහුලයි. සමහර කාන්තාවන්ට මෙවැනි දිලීර ආසාදන නිතර නිතර ඇතිවීම දක්නට ලැබෙනවා. මෙම ආසාදනයට හේතු වෙන්නේ යීස්ට් වර්ගයකට අයත් දිලීරයකි.

vaginal candidiasis තත්ත්වය නිසා ඇතිවන සුලබ රෝග ලක්ෂණ තමයි  යෝනි මාර්ගයෙන් කිරි පැහැති ඝනකම් ස්‍රාවයක් පිටවීම, ඒ අවට කැසීමක් දැවිල්ලක් ඇතිවීම, ලිංගික එක්වීමේදී සුළු වේදනාවක් ඇති වීම. මෙවැනි රෝග ලක්ෂණ ඇති විට පරීක්ෂාවකින් තොරවම මෙම රෝග තත්ත්වය හඳුනා ගන්න වෛද්‍යවරයෙකුට හැකියාව තිබෙනව. වැඩිදුර වෛද්‍ය පරීක්ෂාවන් අවශ්‍ය වෙන්නෙ නැවත නැවත දිලීර ආසාදන තත්ත්වයන් ඇතිවෙන විටයි.

සිරුරේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම වැඩිවන විට යෝනි මාර්ගයේ දිලීර ආසාදන ඇතිවීම බහුලයි. ඒ නිසා ඊස්ට්‍රජන් හෝමෝන ලබා ගන්නා කාන්තාවන්ට වගේම පොලිසිස්ටික් ඔවරි සින්ඩ්‍රෝම් වැනි රෝග තත්ත්වයන් ඇතිවිටත් වැඩිපුර දක්නට ලැබනෙවා. ඔබට මෙවැනි ආසාදනයක් ඇති නම් වෛද්‍ය උපදෙස් අනුව දිලීර නාශක ඖෂධ වර්ගයක් ලබා ගන්න පුළුවන්. මෙම ඖෂධ ගිලින පෙති, යෝනි මාර්ගය තුළින් ඇතුළු කරන පෙති, සහ ආලේපන වර්ග විදියට ලබා ගන්න පුළුවන්. ඉන් ඔබට වඩාත් සුදුසු ඖෂධය වෛද්‍යවරයා නිර්දේශ කරාවි. මෙම දිලීර රෝගය බොහෝවිට ඖෂධ මඟින් සුව කරන්න පුළුවන්. ඔබට මුලින්ම රෝගය සුව කිරීමට ඖෂධ ලබාදෙන අතර, ඉන් පසු නැවත ඇති වීම වැළැක්වීමට මාස 6ක පමණ කාලයක් ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය විය හැකියි. ඖෂධ ලබා ගැනීමේදී නිර්දේශ කළ සම්පූර්ණ කාල සීමාවම ඖෂධ

ලබා ගැනීම වැදගත් වෙනවා. එසේ නොමැති නම් යෝනි මාර්ගය තුළ දිලීර ඉතිරිව තිබී ඉක්මනින් නැවත ආසාදන තත්ත්වය ඇතිවීමට වගේම ඖෂධවලින් පාලනය කිරීම අපහසු වීමටත් අවදානමක් තිබෙනවා.

සම්පූර්ණ කාල සීමාවම ඖෂධ ලබා නොගැනීම සහ කලින් සඳහන් කළ දියවැඩියාව වැනි රෝග තත්වයන් මෙලෙස නැවත නැවත දිලීර ආසාදන ඇතිවීමට හේතු ලෙස සලකන අතර කිසිම අවදානම් තත්වයක් නොමැතිවත් නැවත නැවත vaginal candidiasis රෝග තත්ත්වය ඇති වෙන කාන්තාවන් සිටිනවා.

මෙම රෝගය ඇතිවීම වළක්වා ගැනීමට සැහැල්ලු කපු යට ඇඳුම් භාවිතා කිරීම, යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය වියළිව තබා ගැනීම, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් හොඳින් පාලනයකර ගැනීම වැනි පියවර වැදගත් වෙනවා. ආසාදන තත්වයක් ඇති විට ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ඖෂධ රෝග ලක්ෂණ සමනය වීමත් සමඟ නතර නොකර සම්පූර්ණ කාල සීමාවටම ලබා ගන්න.

උපදෙස් -

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට