නිරෝගී දිවියකට මං කියන අලුත්ම යෝග ක්‍රම

ජනවාරි 1, 2024

 

තමන් විසින් තෝරා ගත් හෝ තමන්ට තෝරා ගන්නට සිදු වුණු කුමන හෝ මාර්ගයකින් සාර්ථක වෙන්නට හැම දෙනාම සිහින දකිනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒත් සමහර වෙලාවට කිසිම දෙයක් හරියට සිද්ධ වෙන්නෙ නැති අවස්ථාවලදී වැටුණු තැනින් නැඟිටලා ඉදිරියට යන්න හිත ශක්තිමත්කර ගැනීම අත්‍යවශ්‍ය වගේම අනිවාර්යයෙන් කළයුතු දෙයක්.

ඇත්තෙන්ම අපේ මනස බලවත්කර නොගන්නතාක් තාක් අපට කිසිදු දෙයකින් සැබෑ, සාර්ථකත්වය ළඟා කරගන්න බැහැ. ඒ සඳහා අපි අපේ මනසේ සැබෑ අයිතිකරුවන් බවට පත් විය යුතුමයි. පුරාණ ඉන්දියාවෙන් ලෝකයට උරුම වුණු යෝගා පුහුණුව ගැන ඔබ නොදැන සිටින්නට හේතුවක් නැහැ. යෝගා, මනස වගේම ශරීරයත් ශක්තිමත්ව, නිරෝගීව සහ නම්‍යශීලීව පවත්වා ගන්නට උපකාරීවන ක්‍රමයක්.

“යෝගා” ආසන යනු හුදෙක් ව්‍යායාම් ක්‍රමයක් පමණක්ම නොව එය විවිධ හුස්ම ගැනීමේ රටාවන් ප්‍රගුණ කරන භාවනාවන් ආදියෙන් සමන්විත කය, මනස අනුකුල කරවන අතර එය ආධ්‍යාත්මික දියුණුවේ මාවතකි. ජිම් එකක ශක්තිමත් වීමේ පුහුණුවීම්වල යෙදෙනවාට වඩා යෝගා අභ්‍යාසයන්හි යෙදීම වෙනස්වනුයේ එහෙයිනි.

බොහොමයක් යෝගා ව්‍යායාම සඳහා විශේෂ ගුරු උපදෙස් අවශ්‍ය හෙයින් යෝගා පුරුදු පුහුණු කිරීමේදී, ඒ වෙනුවෙන් දක්ෂ ගුරුවරයකු සමීපයේ පුරුදු පුහුණු වීම ඉතා යෝග්‍ය වේ.   යෝගා ආසන ව්‍යායාම ඔබ නීරෝගි කරන අතර කායික මානසික ලෙඩ රෝග, දුර්වලතා සහ වේදනාවන් සමනය කරයි. හෘදය වස්තුව, පෙනහළු, මොළය සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට නව ජීවයක් ලබාදෙන අතර රූමත් බව වැඩි දියුණු වේ.

යෝගා ආසන “ප්‍රාණයාම” “මුද්‍රා” සහ “බන්ධ” ඔස්සේ මිනිසාට තම සිරුරේ ස්වාමිත්වයට පත්වීමට හැකි කුසලතාව “හත යෝග” නමින් හඳුන්වයි.

“යෝගා ආසන” ව්‍යායාම් ක්‍රමයක් පමණක්ම නොවේ. එය ආධ්‍යාත්මික දියුණුවේ මාවතකි.

'යෝගා' සුන්දර කලාවකි. ජීවිතය සෞභාග්‍ය කරා මෙහෙයවන සොඳුරු මංපෙතකි. සත්‍යයේ නොවෙනස් විද්‍යාවකි. දෙලොවටම වැඩදායක දර්ශනයකි. ඔබටම ඔබ දෙව්ලොවක් කරා කැඳවාගෙන යා හැකි ඉතා සරල වූ කායික භාෂාවකි.

 

උපදෙස් -

ආචාර්‍ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය