ගැබිනි මවට දුර ගමන් යන්න තාමත් තහංචි ද?

ඔක්තෝබර් 9, 2023

උතුම් මාතෘත්වය, උතුම් පීතෘත්වය විවාහ වූ නව යුවළකගේ ඒකායන ප්‍රාර්ථනයයි. ඒ වෙනුවෙන් ඔවුන් බොහෝ කැපකිරීම් කරති. පෙරුම් පුරා ගෙන කුසට පැමිණි බිලිඳුන්ව රැක ගන්න ඔවුන් අප්‍රතිහත කැපකිරීමක නියැළෙයි. මාතෘත්වය උත්තරීතර වන්නේ ද එහෙයිනි.

විටින් විට අපි ඒ මාතෘත්වයට අවශ්‍ය බොහෝ කරුණු ඉදිරිපත් කරන්නෙමු.

ගැබිනි මවක් දුර ගමන් යෑම සුදුසුද? මේ පිළිබඳ මවු පදවිය අපේක්ෂාවෙන් සිටින මවට පියාට මෙන්ම පවුලේ හිතවතුන්ගේ හිතට යම් චකිතයක් ගෙන දෙන්නක්. මේ පිළිබඳ සමාජයේ මුල් බැසගත් මත රැසකි. අපි අද සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූල මත පිළිබඳයි.

මාතෘත්වයට හිමිකම් කීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන නිසාවෙන් ලැබූ ගර්භිණී බව රැක ගන්නට ඈ මාස නවයක් පුරාවටම පේවී සිටියි. තම කුසෙහි සිටින නුදුටු බිලිඳා වෙනුවෙන් ඇප කැප වෙයි.

ගර්භිණී වුවත් තමාටම කරන්නට වෙන රාජකාරි ඇයට කිසිසේත් ම පැහැර හැරිය නොහැකි වේ. විශේෂයෙන්ම රැකියාවක් කරන මවකට රැකියා ස්ථානයේ වගකීම් ද නොපිරිහෙළා ඉටු කරන්නට සිදුවේ.

දුර ගමන් යෑම ගැබිනි මවකට අත්‍යවශ්‍ය කාරණයක් නොවන්නට පුළුවනි. එහෙත් පවුලේ අය සමඟ වන්දනා ගමනක්, නෑ ගමනක්, විනෝද චාරිකාවක් යෑමට ඇති ආසාවන් යටපත් කරගෙන සිටිනුයේ කුසහොත් දරුවාගේ නාමයෙනි.

ගැබිනි මවුවරුන් දුර ගමන් යෑමේ අවදානමක් ඇත්තේ ගබ්සා වේ යැයි බියෙනි. දුර ගමන් හෝ සාමාන්‍ය ගමන් බිමන් යෑම නිසා ගබ්සා වීම් සිදුනොවන බව අවධාරණය කළ යුතු වූවකි.

මුල් සති 5, 6, 7 යන කාලවලදී ගබ්සා වීම් සිදු වීමට ඇති ඉඩකඩ වැඩිය. සාමාන්‍යයෙන් සියදෙනෙක් ගර්භිණී වුවහොත් ඉන් 15ක් 20ක් පමණ ගබ්සා වීමට පුළුවනි. එසේ සිදු වන්නේ කලලයේ විවිධ අඩුලුහුඬුතා නිසා විනා මවගේ හැසිරීම්, ඇගේ ගමන්බිමන්, කනබොන කෑම්බීම් නිසා නොවේ.

වෛද්‍ය විද්‍යාවේ දියුණුව, නවීන තාක්ෂණයේ දියුණුව අනුව කුසහොත් කලලයේ ඇති අඩුපාඩු අන් කවරදාටත් වඩා හොඳින් දැකබලා ගන්නට, විවිධ නිගමනයන්ට ඒමට නාරි හා ප්‍රසව වෛද්‍යවරුන්ට හැකියාව ලැබී තිබේ. ඒ නිසාම පිළිසිඳ ගෙන ඇති කලලයේ අඩුපාඩු අවම සති ගණන්වලදී ගබ්සාවීම්වලට හේතුවක් බව සක්සුදක් සේ පැහැදිලිය.

කුසෙහි සිටිනා බිලිඳාට මාස තුනක් පමණ වූ පසු ගබ්සාවීම්වලට ඇති ඉඩකඩ බොහෝසෙයින් මඟහැරී යයි. මාස හතරත් හයත් අතර කාලය ගමන් යෑමට එතරම් බාධාවක් නොවේවි.

පිටපිට ගබ්සාවීම් සිදුවුවත්, ඒ සියල්ල සති 5, 6,7 යන කාලවලදී සිදුවූවා නම් ඒ පිළිබඳ වෛද්‍යවරු එතරම් නොතකයි. ඒ එම කාලවකවානුවල ගබ්සාවීම් සුලබ කාරණයක් වන නිසයි. එහෙත් සති 18, 20 වැනි කාලවලදී මවක් ගබ්සාවීමකට ලක් වූයේ නම් එය ආවාට ගියාට සැලකියයුතු කාරණයක් නොවේ. මේ කාලයේදී ගබ්සාවීම් යනු දුලබ කාරණයකි. එවැනි මවක් නැවත ගැබ් ගත්තේ නම් හැකිතරම් ප්‍රවේසම් විය යුතුයි.

එසේම ඇතැම් කාන්තාවන්ගේ ගැබ්ගෙල කෙටිය. මොවුන්ට අඩු මාස ගණන්වලදී දරු ප්‍රසූතියන් සිදුවීමට ඇති ඉඩකඩ සාමාන්‍යයෙන් අනෙක් මවුවරුන්ට සාපේක්ෂව වැඩිය. ඔවුන් ද මාස නවය පුරාවටම අනවශ්‍ය ගමන්බිමන් නොයා ප්‍රවේසමින් සිටිය යුතුයි. මේ හැරුණු විට නිවුන් දරුවන් හෝ ඊට වැඩි ගණනක් දරුවන් පිළිසිඳ ගෙන ඇති මවක්ද තරමක් අවධානම් කාණ්ඩයේ සිටින නිසා එවැනි මවුවරුන් ද ගමන්බිමන් හැකිතරම් සීමාසහිත කළ යුතුවේ.

ගුවනින් සංචාරය කරන්නේ නම් විශේෂයෙන්ම යුරෝපා වැනි රටවලට පැය ගණන් එකදිගට හිඳගෙන යායුතු නිසා කුසෙහි සිටින දරුවාට නොව මවට විවිධ අපහසුතා ඇති වේවි. එකම ඉරියවුවකින් සිටින නිසා රුධිර කැටි ඇතිවන්න පුළුවනි. කකුල් ඉදිමෙන්නට බලාවි. මෙවැනි මවුවරුන්ට ස්ටොකින්ස් පලඳින්නට උපදෙස් ලැබේවි. කකුල් කරකවමින් කාලය ගත කරන්න.

දුරගමන් හෝ වෙනත් ගමන්බිමන් ගියත් වෙනදා මෙන් වතුර බීම, වැසිකිළි යෑම, නියමිත වෙලාවට ප්‍රධාන කෑමවේල් සහ අමතර කෑමවේල් ගැනීම වැනි ක්‍රියාකාරකම් සඳහා බාධා ඇති කරගත යුතු නොවේ. කුමන සති ගණනක සිටියත් ගර්භිණී බවට අදාළ ඖෂධ, වෛද්‍ය වාර්තා අසලින් තබා ගන්නට අමතක කරන්න එපා. කොන්දට තබා ගන්න පුංචි කොට්ටයක් අසල තබා ගැනීම සුදුසු වේවි.

මේ කරුණු ඔබත් පිළිපදින්න. ගැබිනි සමයේ සතුට අත් විඳගන්න.

 

උපදෙස් -

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය

විජිත් විද්‍යාභූෂණ