මුඛ ආවරණයක් පැලඳීම දරුවාගේ ජීවිතයට තර්ජනයක් නොවිය යුතුයි

ජුනි 17, 2020

චීනයේ පාසල් සිසුන් දෙදෙනෙක් සතියක් තුළ ක්ෂණිකව ඇද වැටී මියයාමේ අවාසනාවන්ත සිදුවීමෙන් ලොවම කම්පාවට පත්වුණා. සිසුන් දෙදෙනාම වයස අවුරුදු දාහතර තරම් අඩු වයසේ පසුවූවන්.

අතක් පයක් නොකඩා වයස දාහතරක් වනතුරු හදාවඩා ගත් නීරෝගි දරුවකු හිටිවනම මියයාමේ දුක මාපියන් කෙසේ වාවාගන්නද ? කෝවිඩ් - 19 වසංගතයෙන් දිවි ගැලවුණත් රෝගයෙන් ආරක්ෂා වීමට ගත් පියවරක් නිසා මේ දරුවන් දෙදෙනා මරණයට පත්වෙලා.

ශාරීරික යෝග්‍යතාව මැන බැලීම එරටේ පාසල්වල සිදු කෙරෙන්නක්. මොවුන් ක්ෂණිකව වැටී මරණයට පත්වී තිබෙන්නේ මුහුණු ආවරණ (මුඛ ආවරණ) දමා ගෙන දිවයාමේදීයි.

සමහර කුඩා දරුවන් මුහුණු ආවරණ දමාගෙන බිස්කට් වැනි ආහාර ගැනීමට උත්සාහ ගන්නා වීඩියෝ පට විමෝදය ගෙන දීමට එක්කර තිබුණත් එය සිනාසී සතුටු වෙන්න කාරණාවක් නෙවෙයි.

නව කොරෝනා වෛරසය පැතිරී යාම මුහුණු ආවරණ පැලඳීම මඟින් යම් තරමකට අඩු කළ හැකි බව සැබෑවක්. එහෙත් ඉන් දරුවාගේ සෞඛ්‍යයට, ජීවිතයට තර්ජනයක් එල්ල නොවිය යුතුයි.

පාසල් වාරය ඇරැඹෙන්න නියමිත නිසා මවුපියන් දරුවන් පාසල් යැවීමට පෙර දරුවන්ට පැලඳීය යුතු මුහුණු ආවරණ ගැන දැනුවත් වී සිටීම හරිම වැදගත්. මුහුණු ආවරණ වයස අවුරුදු 2ට අඩු දරුවන්ට සුදුසු නැහැ. පෙර පාසල් වයසේ දරුවන්ට ද මුහුණු ආවරණ හඳුන්වා දිය යුත්තේ පරෙස්සමෙන්. මුහුණු ආවරණයකින් පුද්ගලයකුගේ මුහුණේ කොටසක් සැඟවෙනවා. දරුවන් මාපියන්ගේ සිනාවෙන් ආදරණීය බැලීමෙන් ආරක්ෂාව, අවධානය, ආදරය ලැබී මානසිකව සුරක්ෂිත වෙනවා. මාපියන් මුහුණු ආවරණ පැලඳ සිටින විට සමහර කුªඩා දරුවන්ට බියක් ඇතිවන්න පුළුවන්. මේ අතරේ මුහුණු ආවරණ දැමූවන් සෞඛ්‍ය වීරයන් වශයෙන් දකින දරුවන් ද සිටිනවා.

පාසල් ඇරැඹූ පසු අපේ දරුවන්ටත් මුහුණු ආවරණ පැලඳීමට සිදුවන නිසා මුහුණු ආවරණ ගැන බියක් ඇත්නම් එය දුරු කරන්න. දරුවන්ට තනිවම මුහුණු ආවරණ පැලඳ ගැනීමට සහ ඉවත් කිරීමට උගන්වන්න. වෛද්‍යවරයකු, හෙදියක ලෙස රඟපාමින් සෙල්ලම් බෝනික්කන්ට මුහුණු ආවරණ පලඳවන්න දීම වැනි සරල මාර්ගවලින් දරුවන් මීට හුරු කළ හැකිය. දරුවන්ට පැලඳීමට ලබා දිය යුත්තේ ප්‍රමිතියෙන් යුතු මුහුණු ආවරණයි.

උපදෙස් - ප්‍රජා වෛද්‍ය විශේෂඥ

අමිල චන්ද්‍රසිරි

 

2020/06/17 තරුණි පුවත්පත බලන්න.