නිවිති කොළෙන් දියවැඩියාවට බෙහෙත් හැදූ සබරගමු වික්‍රමය

පෙබරවාරි 19, 2024

බටහිර වෛද්‍ය විද්‍යාව බොහෝ දියුණුය. එහෙත් දියුණු යැයි සම්මත වූ බටහිර වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි රෝග බොහෝය. බෝ නොවන රෝග ඉන් ප්‍රධාන වෙයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා, වකුගඩු රෝග වැනි බොහෝ රෝග සංඛ්‍යාවක් සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ සාර්ථක ප්‍රතිකාරයක් නොමැති අතර ‍ෙරා්ග පාලනය සඳහා තාවකාලික ප්‍රතිකාර පමණක් මේ වන විට සොයාගෙන තිබේ.

පසුගිය දා අපට ඌව වෙල්ලස්සෙන් අසන්නට ලැබුණේ ද එවැනි සාර්ථක සොයා ගැනීමකි. මෙම සොයා ගැනීම හා පර්යේෂණකර ඇත්තේ දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස දේශීය නිවිති ශාක වර්ගයකි. මෙම පර්යේෂණය තවත් සුවිශේෂී වීමට හේතුවක් වන්නේ එම පර්යේෂණය සඳහා දායක වී ඇත්තේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් හා ඇයගේ සිසුවියක්ය. ලෝකයේ කොතැනක සිටියත් තම හැකියාව හා දක්ෂතාවයෙන් විශාල පෙරළියක් කළ හැකි බව සපථ කළ මේ යුවතියන් දෙදෙනා අවම පහසුකම් යටතේ මෙවැනි පර්යේෂණයක් සිදු කිරීම සමස්ත ශ්‍රී ලංකා සිසු පරපුරම එය අගය කළ යුත්තකි. එසේම ඔවුන්ගේ පර්යේෂණයෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට හිමි වූ කීර්තිය හා ප්‍රශංසාව ද සුළුපටු නොවෙයි. මුළු ලෝකයේම අවධානය යොමු කරවන මෙම පර්යේෂණය සිදු කළ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා අපනයන කෘෂිකර්ම පීඨයේ පශ්චාත් උපාධි අපේක්ෂක ශිෂ්‍යාවක් වන අයි. ආර්. එච්.කේ. කුමාරි සිසුවිය තම පර්යේෂණ නිබන්ධනය සඳහා තෝරාගත් මෙම ශාකයෙන් දියවැඩියා රෝගය තෙබු ශාකයටත් වඩා සාර්ථක ලෙස පාලනය කරන බව අනාවරණය කරගෙන තිබේ.

මෙවැනි සාර්ථක වූ කාලීන පර්යේෂණයක් සඳහා මුලපිරීමට ඇයට මඟ පෙන්වීම සැපයීමට ඉදිරිපත් වී ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිලුනි මෙත්සලා විජේසුන්දරයි. මේ පර්යේෂණ සාර්ථක ලෙසින් සිදු කිරීමට හැකි වූ ආකාරය ඇය අපට හෙළි කළේ මේ පර්යේෂණයට ප්‍රවේශ වූ ආකාරය ද හොඳින්ම විග්‍රහ කරමිනි.

මුලින්ම කුමාරි ශිෂ්‍යාව මේ පර්යේෂණයට ප්‍රවේශ වූ ආකාරය කියන්න පුළුවන් ද?

කුමාරි ශිෂ්‍යාව ඇයගේ පශ්චාත් උපාධි නිබන්ධය සඳහා තෝරාගෙන තිබුණේ දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස තෙබු ශාකය යොදා ගැනීම පිළිබඳ පර්යේෂණයක් කිරීම. මම ඇයගේ නිබන්ධනය සඳහා උපදේශිකාව ලෙස මේ ශාකය පිළිබඳ පර්යේෂණ විශාල සංඛ්‍යාවක් සිඳුකර තියෙන බව පැහැදිලි කළා. ඉන්පසුව තමයි දිර්ඝායු නිවිති කියන ශාකය සොයා ගත්තේ. අපට මේ ශාකය මුලින්ම හමුවෙන්නේ උද්භිද උද්‍යානයෙන්. අපේ රටේ හොඳින් වැඩෙන එහෙත් ඌන භාවිතයක් සිදු වන දීර්ඝායුෂ නිවිති කියන ශාකය දියවැඩියාව පාලනය සහ එහි ප්‍රතිඔක්සිකාරක බලය ගැන තමයි අපි අපේ විශ්වවිද්‍යාලයේ සත්ත්ව සහ ආහාර තාක්ෂණ විද්‍යාගාරයේදී සිදු කළේ.

අපි මේ පර්යේෂණයෙන් අපේක්ෂා කළේ සාම්ප්‍රදායික හා දේශීය වෙදකමේ යොදා ගන්නා දීර්ඝායුෂ නිවිති දියවැඩියා ‍ෙරා්ගය පාලන ක්‍රියාකාරකම්වල සඵලතාවය පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි සහිතව ඔප්පු කිරීමයි.

මෙහිදී හොඳින් වියළාගත් දීර්ඝායුෂ නිවිති ශාකයේ පත්‍ර භාවිතයෙන්, ශාකයේ රසායනික සං‍ෙයා්ග නිස්සාරණය කිරීම, පශ්චාත් නිස්සාරණය කිරීම හා එ්වායේ කාර්යක්ෂමතාව නිර්ණය කිරීම සඳහා එතනෝල් නිස්සාරණය, උණුවතුර නිස්සාරණය සහ උණු වතුර කහට නිස්සාරණය යන විවිධ නිස්සාරණ ක්‍රම 3ක් ඇගයීමට සංසන්දනය කිරීම තමයි අප කළ පර්යේෂණ ක්‍රියාවලිය.

ඔබ මෙවැනි ශාකයන් තෝරා ගැනීමට හේතු වුණේ ඇයි කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?

අතීතයේ මිනිසුන් බොහෝ සරල ජීවන රටාවකට හුරුපුරුදු වී සිටියා. ඔවුන් තමන්ට වැලඳුණ ලෙඩ රෝග බො‍ෙහාමයක් සුවකර ගැනීමටත්, ඇතැම් ලෙඩ ‍ෙරා්ගවලින් ආරක්ෂා වීම උදෙසාත් ඖෂධීය ශාක හෝ ඒ ඇසුරෙන් සකස් කරන ලද ඔෟෂධ පිළිබඳ මහත් විශ්වාස කළා. කෙසේ වෙතත් වර්තමානයේදී ද ඇතැමුන් දියවැඩියාව පාලනයකර ගැනීමටත්, එමෙන්ම රෝගය ඇතිවීමේ අවදානම අවමකර ගැනීම සඳහාත් දේශීය වෛද්‍යවරුන්ගෙන් නියම වූ ඔෟෂධ පැළෑටි සහ පාරම්පාරික දැනුමෙන් භාවිත වන අත්තික්කා කොළ, තෙබු කොළ වැනි පලා කොළ වර්ග ආහාරයට එකතුකර ගැනීම සුලබයි. නමුත්, දියවැඩියාව පාලනයට ස්වාභාවික ප්‍රතිකර්මයක් වන, ඌනභාවිත (Underutilized) අරුම පුදුම ශාක ගවේෂණයක් කරලා තිබුණේ නැහැ.

Gynura Procumbens යන විද්‍යාත්මක නාමයෙන් ද දීර්ඝායුෂ නිවිති (Longevity Spinach) යනුවෙන් හඳුන්වන මෙම ශාකය, චීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ වියට්නාමය වැනි නිවර්තන ආසියාතික රටවල් සහ අප්‍රිකාව නිජභූමිය කරගත් Asteraceae පවුලේ සාමාජිකයෙකි. එලෙසම අපේ රටේ අතරමැදි හා වියළි කලාපවලත් තෙත් කලාපයේත් විවෘත බිම්වල මනා සේ වැඩෙන මෙය බහුවාර්ෂික සලාද වර්ගයකි. චීන නිවිති (Chinese Spinach) මොලුකන් නිවිති (Moluccan Spinach) කොලෙස්ට‍ෙරා්ල් නිවිති (Chinese Spinach) දියවැඩියා ශාකය (Diabetes plant) පුදුම ශාකය නමින් මෙන්ම ‘දෙවියන්ගේ කොළ‘ යන අන්වර්ථ නාමයෙන් ද මෙම ශාකය විවිධ රටවල හඳුන්වනවා.

දීර්ඝායුෂ නිවිති ශාකයෙහි පෝෂණ ගුණය කොයි වගේද?

දීර්ඝායුෂ නිවිති ශාකය යනු පෝෂක බලාගාරයකි. කබෝහයි‍ෙඩ්‍ර්ට්, ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණවලින් ද මෙය පොහොසත් ප්‍රභවයකි. මෙම විචිත්‍රවත් කොළ පැහැති ශාක පත්‍ර කිහිපයකින්, ඔබේ දෛනික පෝෂණ අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් සැපයිය හැකිය. තවද විටමින් හා ඉහළ මට්ටමින් අන්තර්ගත වී ඇති අතර යකඩ, කැල්සියම්, වැනි අත්‍යවශ්‍ය ඛනිජ ලවණ රාශියකින් සමන්විතය.

දීර්ඝායුෂ නිවිති ශාකයෙහි තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ තියෙනවද?

පෝෂක පදාර්ථ රාශියකින් හෙබි මෙම ශාකය තුළින් නි‍ෙරා්ගීමත් හෙට දිනයක් උදෙසා ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ රැසකි. සම්ප්‍රදායිකව, දීර්ඝායුෂ නිවිති ශාක පත්‍ර විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිතවන අතර විද්‍යාත්මකව එය පරිභෝජනයට ආරක්ෂිත බව පෙන්වා දී ඇත. දියවැඩියාව පාලනය කිරීමේ හැකියාව මෙන්ම ශරීරයේ රුධිර ලිපිඩ මට්ටම පාලනය කිරීමේ හැකියාව ද මෙම ශාකය සතුව ඇත. මෙහි අැති පිළිකා නාශක ගුණයද ඉහළය. රූමටික් රෝගයට, මලබද්ධය, ඉරුවාරදය, කුෂ්ඨ සහ වකුගඩු ගල්, මුත්‍රාශයේ ගල් තත්ත්වයන් වැළක්වීමටත් ඉන්සියුලින් ශාකය ඉහළ චිකිත්සක විභවයක් පෙන්වයි. සමහර විද්‍යාත්මක පර්යේෂණ අනුව විටෙක ප්‍රතිබැක්ටීරියා ලෙස ද තවත් වරෙක ප්‍රතිවයිරසයක් ලෙසද ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ද ක්‍රියාකිරීමේ හැකියාවක් දීර්ඝායුෂ නිවිති ශාකය සතුව තිබෙනවා.

මේ පර්යේෂණයේ දැන් තත්ත්වය ගැන අපට පැහැදිලි කරන්න පුළුවන් ද?

මේ වනවිට අපි මේ ශාකයේ ක්‍රියාකාරීත්වය හා රෝග පාලනයට යොදා ගැනීම ගැන මුලික පර්යේෂණ සිදුකර අවසන්. සාර්ථක ප්‍රතිඵල අපට ලැබී තිබෙනවා. දැන් අප සිදු කරනු ලබන්නේ එම ශාකයේ රසායනික සැකසුම හා ප්‍රතික්‍රියා කරන ආකාරය ගැනයි. ඉන් පසුව තමයි අපට පර්යේෂණයේ ඊළඟ පියවරට යන්න වෙන්නේ. මේ ශාකය ලබා දෙන්නේ රෝගීන්ට. ඒ නිසා අප මිනිස්සුන්ට නිර්දේශ කිරීමට පෙර රසායනික ක්‍රියාවලිය පිළිබඳ හොඳ පර්යේෂණයක් කළ යුතුයි. ඊළඟ පියවර ලෙස තමයි කිසියම් තෝරා ගත් නියැදියක් සඳහා පර්යේෂණ අත්හදා බැලීම සිදු කළ යුත්තේ. ඒ සඳහා තව කාලයක් අපට ගත වෙනවා.

 

ආචාර්ය නිලුනි මෙත්සලා විජේසුන්දර ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - සත්ත්ව විද්‍යා හා අපනයන කෘෂිකර්ම පීඨය