දරුවන්ගේ හිසරදය නොසලකා ඉන්න එපා

ජූලි 22, 2020

 

"අම්මා මට ඔළුවෙ කැක්කුමයි."

"මට වැඩට යන්න පරක්කු වෙනවා දරුවො. මේ පැරසිටෙමා්ල් පෙති දෙක බොන්න. අඩු වෙලා යයි. "

වැඩට යන්න ප්‍රමාද වෙන නිසා එහෙම කියන අම්මලා කොච්චර ඉන්නවද ? ඒත් හිසරදය ගැන එහෙම සැහැල්ලුවෙන් හිතන්න බැහැ.

වේදනානාශයකටත් හිසරදය අඩු නොවෙයි නම් නිතර නිතර හිසරදය හැදෙනවා නම් ඒකට හේතුවක් තියෙන්න පුළුවන්. හිසරදය භයානක රෝගයක පෙර නිමිත්තක් වීමටත් ඉඩ තියෙනවා.

හිසරදයෙන් වඩාත් අසරණ වෙන්නෙ බහ තෝරා නැති දරුවන්.

(කතා කළ නොහැකි දරුවන්). නොරිස්සුම් සහගත බව, හැඬීම වැනි ක්‍රම මඟින් දරුවා තම අපහසුතාව කියාපාන්න උත්සාහ ගන්නවා. වයස අවුරුදු දෙකක තුනක දරුවකු හිසරදය බව පැවසුවොත් නොසලකා ඉන්න එපා. දරුවකුගේ හිසරදයට විවිධ හේතු බලපානවා. සෙම්ප්‍රතිෂ්‍යාව, වෛරස් රෝග, නළලේ කුටීර තුළ සෙම පිරීම ආදී විවිධ හේතූන් මේ කෙරෙහි බලපානවා. බඩගින්න රතු කට්ට ඉක්මවා ගිය විට ද හිසරදය ඇතිවන්න පුළුවන්. පාසල් ගොස් පැමිණි විට හටගන්නා හිසරදයට සුලබම හේතුව මහන්සියයි. දිගු වේලාවක් රූපවාහිනිය නැරැඹීම, පරිගණකය සමඟ කාලය ගත කිරීම, නිදි වර්ජිතව පාඩම් කිරීම දරුවන්ගේ හිසරදයට හේතු වන අවස්ථා තියෙනවා.

*මානසික ගැටලු දරුවන්ගේ හිසරදයට ප්‍රධාන හේතුවක්.

ළමා සිත් සැහැල්ලුයි සුන්දරයි කිව්වත් මලක් මෙන් සුමුදුයි කිව්වත් වැඩිහිටියන් නිසා ළමා සිත් තැලෙන්න පුළුවන්. එවිට දරුවන් ද වැඩිහිටියන්ගේ මානසික ආතතියට ගොදුරු වෙනවා. කාංසාවට පත් වෙනවා. මාපියන් නිතර දබර කරනවා නම් පාසලේ පන්තියේ ගැටලු ඇත්නම් පහසුවෙන්ම දරුවන් ආතතියට ගොදුරු වෙන්න පුළුවන්.

*අනතුරුත් බලපානවා

හිස වැදීම නිසා ඇතිවන හිසරදය දඟකාර ළමා වියේ සුලබයි.

*බරපතළ රෝගයක ලකුණක් ?

හිසරදය, වමනය, උණ බරපතළ රෝග තත්ත්වයක පෙර නිමිත්තක් වන අවස්ථා ද තිබෙනවා. ඒත් ඒ කලාතුරකින්. මෙනින්ජයිටීස්, ජැපනීස් එන්සෙෆලයිටීස්, මොළයේ ගෙඩි වැනි බරපතළ අවස්ථාවන්වලදී මේ ලක්ෂණ ඇතිවෙනවා. මිග්‍රේන් හිසරදය ඇති විට වමනය, ඔක්කාරය, උදර වේදනාව, ආලෝකයට හඬට සන්වේදී වීම වැනි ලකුණු හටගන්නවා. වෛද්‍ය උපදෙස් කඩිනමින්ම පැතීම මඟින් දරුවාගේ හිසරදයට හේතුව මිග්‍රේන් වැනි සරල හේතුවක් ද නැත්නම් මොළයේ උණ වැනි බරපතළ හේතුවක් ද කියා දැන ගන්න පුළුවන්.

 

උපදෙස් - ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

නවමාලිකා ද සිල්වා

 

2020/07/22 තරුණි පුවත්පත බලන්න.