පියයුරු පිළිකාවක් කල්තියා හඳුනාගන්නේ කෙසේද?

මේ පියයුරු පිළිකා වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ මාසයයි
ඔක්තෝබර් 27, 2021

 

ස්ත්‍රියකගේ ලාලිත්‍ය මොනවට විදහාපාන පියයුරු යුගල මනා හැඩයෙන් යුතුව පවත්වාගෙන යෑම කොයි කාන්තාවගේත් අවිහිංසක ආශාවකි.

එහෙත් වත්මනේ පිළිකා මාරයා බොහොමයක් කාන්තාවන්ට බලපෑම් කරනුයේ පියයුරු පිළිකාවේ ගොදුරක් බවට පත්කරවමිනි.

මේ ගෙවෙනුයේ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයයි. එනම් සෑම වසරකම ඔක්තෝබර් මාසය වෙන්වනුයේ පියයුරු පිළිකා වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙනි. මෙසේ මාසයක් පුරාවට කාලයක් ඒ සඳහා වෙන්කොට ඇත්තේ පියුයරු පිළිකාව යනු අනෙකුත් පිළිකා වර්ග මෙන් නොව කල්තියා හඳුනා ගැනීමෙන් පහසුවන් ම නිට්ටාවට ම සුව කළ හැකි පිළිකාවක් නිසා ය.

මේ පිළිබඳ ඔබ කෙරෙහි ඇති දැනුවත්භාවය අනුව එය මුල් අවදියේදී ම හඳුනාගැනීම පහසු කරයි. එහෙත් අවාසනාවක මහත, නොදැනුවත්භාවය නිසාම බොහොමයක් රෝගීන් වෛද්‍යවරයා වෙත පැමිණෙනුයේ ප්‍රමාදවය. එවිට රෝගය පැතිර අවසන් ය. එක්කෝ පියයුර පුරාවට නැත්නම් පියයුරෙනුත් එහාට පැතිරගොස්ය. නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරවෙන් කපන්නට වන අවස්ථාවේදී පැමිණීම වෛද්‍යවරයා පවා අපහසුතාවට පත් කරයි. ඉන් එහාට ඔබ ම මහත් අපහසුතාවට පත්වෙයි. මමත් පියයුරු පිළිකාවක ගොදුරක් වේවි ද? එසේ වී නම් කල්තියා එය හඳුනාගන්නේ කෙසේද? මේ කාරණා දෙක කෙරෙහි ඔබත් උනන්දු වේ නම් පහසුවෙන් ඉන් මිදීමට මඟ සැලසේවි.

රට පුරා විවිධ දැනුවත් කිරීම්

පියයුරු පිළිකා වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ මාසය පුරාවට ම කාන්තා ප්‍රජාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් වෙබිනාස් රට පුරා පැවැත්වෙයි. සෞඛ්‍ය අමාත්‍යංශය මෙහෙයවන 'Cancer Control Programme' ඉන් ප්‍රධාන තැනක් ගනියි. මීට රාජ්‍ය නොවන සංවිධාන, ලියෝ සමාජ මේ ආදී බොහෝ සංවිධාන ගණනක් පෙළ ගැසී සිටී. Sri Lanka Socity of Breast Surgeon සෑම රෝහලක ම පාහේ රෝහල් කාර්ය මණ්ඩලය, ප්‍රධාන පාසල්වල ගුරුවරියන් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීමේ කාර්යයේ නියැළෙයි.

කාන්තාවන් වෙතින් වැඩිපුරම දක්නට ලැබෙන පියයුරු පිළිකාව කල්තියා හඳුනා ගන්නේ කෙසේද?

 

ස්වයං පරීක්ෂාව

මෙහිදී අවුරුදු 35 - 40 වයස් සීමාවෙන් පසු සෑම කාන්තාවක් ම සෑම මාසයක ම ස්ථිර දිනයක් ඒ සඳහා වෙන්කර ගැනීම වැදගත්.

මාසික ඔසප්වීම සිදුවී දින 3 - 4කට පසු දිනය ඒ සඳහා යොදා ගන්න. මේ කාලයේ පියයුරේ වේදනාව අඩුයි. මෙහිදී සෑම මාසයක දී ම ඔබේ පියයුරේ සාමාන්‍යතාව දැන ගැනීමෙන් යම් හෙයකින් අසාමාන්‍යතාවක් ඇතිවුවහොත් පහසුවෙන කල්තියා හඳුනා ගත හැකියි. ප්‍රතිකාර කරා යොමු විය හැකියි.

උඩුකය නිරුවත් ව කණ්ණාඩියක් ඉදිරිපස සිට පියයුරු දෙස හොඳින් බලන්න. අත්දෙක ඉහළට ඔසවා බලන්න. ඉස්සරහ නැවී බලන්න. ප්‍රමාණයේ වෙනසක් තිබේ ද යන්න මෙහිදී දැනගත හැකියි. සමේ ඉදිමුමක්, රතුවීමට, ඇතුළට ගොස් ඇත්දැයි බලන්න. තනපුඩුව දෙස ද බලන්න. වටේ තුවාල ඇත්ද, ගිලී ඇත්දැයි බලන්න. දැන් තනපුඩුව මිරිකා බලන්න. යම් ස්‍රාවයක තියෙනවා ද කියා බලන්න. ස්‍රාවයක් තිබේ නම් එහි පැහැය ගැන සැලකිලිමත් වන්න.

දැන් ස්පර්ශ කර බැලිය හැකියි. හාන්සි වී කිරීම වඩාත් පහසුයි. ඔළුවට යටින් එක් අතක් තබා අනෙක් අතෙන් ඇඟිලිවල ඉහළ කොටසින් (ඇඟිලි තුඩු නොවේ.) ඇඟට හොඳින් තදවන සේ ස්පර්ශ කර බලන්න.

පවුල් ඉතිහාසය

පියයුරු පිළිකා තරුණ අයට නොසෑදේ ම යැයි කිව නොහැකියි. අවුරුදු 40 - 50 වයස්වල අයට වැඩි වුණත් අවුරුදු 25 - 30 අයටත් ඉඳහිට දක්නට ලැබේවි. පවුලේ ඉතිහාසය මෙයට සෘජුවම බලපාවි. මවට, මිත්තණියට, සොයුරියට මේ ආදී වශයෙන් පියයුරු පිළිකා තිබුණේ නම් නිසැකව ම ඔබට විමසිලිමත්වන්නට වේවි. එහි අනතුරක් තිබෙන්නට පුළුවන. අඩු වයසින් පියයුරු පිළිකාව වැලඳීමට පවුල් ඉතිහාස හේතුවක් ම වේවි.

හෝර්මෝන පෙති

මීට අමතරව තරබාරුකම, හෝර්මෝන පෙති භාවිතය (මේ සඳහා උපත්පාලන පෙති එතරම් බලනොපාවි. ආර්තවහරණයෙන් පසු හෝර්මෝන සමතුලිත කිරීමට ගන්නා පෙති ගැන සැලකිලිමත් විය යුතුයි. මෙහිදී වෛද්‍ය උපදෙස් අනුව හෝර්මෝන පෙති ලබාගැනීමට කටයුතු කරන්න.)

පවුල් ඉතිහාසය ආදිය අපට වෙනස් කළ නොහැකි වුවත් දුම්පානය, මත්වතුර පානයෙන් ඈත්වීම, තරබාරුකම ව්‍යායාම කිරීම ආදියෙන් පියයුරු පිළිකාව වළක්වා ගැනීමට පුළුවන.

කල්තියා හඳුනා ගැනීමට ජාන පරීක්ෂාවක්

පවුල් ඉතිහාසයෙන් පියයුරු පිළිකාව සෑදේ නම් එයට ජාන පරීක්ෂාවක් කළ හැකියි. මෙයින් තමාට සෑදීමට ඇති ප්‍රබලතාව අඩු ද වැඩි ද යන්න ජාන පරීක්ෂාවකින් සියයට 80ක් පමණ හඳුනා ගත හැකියි. මෙහිදී වයසේ බලපෑමක් නැත.

පියයුරු දෙකම ඉවත් කළ ඇන්ජලිනා ජොලි

ලෝක ප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලි තමාගේ පවුලෙන් පියයුරු පිළිකාව වැලඳෙන ජානය උරුමව තිබු නිසා ඇය කළේ තම පියුයරු දෙකම කල්තියා ම ඉවත් කරගැනීමයි. ඒ අවදානම ගන්නට ඇය සූදානම් වූයේ නැත. මෙහිදී පියයුර වෙනුවට කෘත්‍රිම පියයුරක් සම යටින් තැන්පත් කරයි.

එහෙත් ජාන පරීක්ෂාවෙන් මේ බව හඳුනාගත්තත් තම පියයුරු දෙක ඉවත් කර ගැනීමට අපේ රටේ බොහෝ දෙනා කැමැති වන්නේ නැහැ.එහෙත් ස්වයං පියයුරු පරීක්ෂාව ඔස්සේ කිසිම වියදමක් නැතිව කල්තියාම හඳුනාගත හැකියි.

පියයුරු සායන බොහෝ රෝහල්වල තිබේ. ඕනෑම වේලාවක ඒ සඳහා සම්බන්ධ වී අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවක්, මැමෝග්‍රැම් පරීක්ෂාවක් කිරීමෙන් මේ බව තහවුරු කරගත හැකියි.පිළිකාවක් තවම සෑදී නැතත් එය සෑදෙන මුල්ම අවස්ථාව හෙවත් Carcinoma in situ යන්න හඳුනා ගැනීමට නම් මැමෝග්‍රැම් පරීක්ෂාව කළ යුතුයි.

තරුණ වයසේ පියයුරු තද වැඩියි. ඒ පියයුරු ග්‍රන්ථි වැඩි නිසාය. එහිදී MRI පරීක්ෂාවක් කළ හැකියි. මැමෝග්‍රැෆි පරීක්ෂාවෙන් සොයා ගත නොහැකි දේ MRI වෙතින් හඳුනා ගත හැකියි. තරුණ වයසේ දී බොහෝ විට දැකගත හැක්කේ පිළිකාමය නොවන ගෙඩියි. ‍ඕනෑම ගෙඩියක් පරීක්ෂාවට ලක් කිරීම අතිශය වැදගත්. ෆයිබ්‍රොඇඩිනෝමා තත්ත්වයේ ඇති ගෙඩි කිසිදා පිළිකාමය තත්ත්ව බවට පත් වන්නේ නැත. ඇතැම් විට විශාල ප්‍රමාණයේ ෆයිබ්‍රෝඇන්ඩිනෝමා ගෙඩි ඉවත් කරයි. වතුර ගෙඩි වැනි දෑ ඇතැම් විට ඉවත් කරන්නට වේවි. මේ සියල්ල තීරණය කරනුයේ ශල්‍ය වෛද්‍යවරයායි.

වේදනාව පියයුරු පිළිකාවේ ලක්ෂණයක් නොවේ. වේදනාවක් පැමිණෙන්නේ උග්‍ර පිළිකා තත්ත්වයකදීයි.

 

 

උපදෙස් -

Sri Lanka Society of Breast Surgeon හි සභාපති

විශේෂඥ ශල්‍ය වෛද්‍ය

අජිත් ද සිල්වා