ශ්‍රී ලංකා පොලිසියේ මුල්ම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසිං ආරච්චි

පොලිස්පති පුටුවට අත පොවන දුරින්...
ඔක්තෝබර් 21, 2020

“ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි” ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ. බුදු දහමේ මේ වදන් පෙළ බොහෝ ගැඹුරුය. එවන් ගැඹුරු වූ අර්ථයක් ආදර්ශ පාඨය වූ ශ්‍රී ලංකා පොලිසියේ ධර්ම චක්‍රය මැදි වූ ලාංඡනයෙන් කියැවෙන්නේ ඔවුන් විශාල වූ වගකීම් සමුදායක් තම දෙවුර මත දරා සිදු කරන සේවයේ අභිමානයයි.

අභියෝගාත්මක සේවයක් සියුමැලි වූ කාන්තා දෙවුර මත දරා ගන්නට හැකි අභීත දියණියන් විශාල පිරිසක් මේ ලක් දෙරණ මත බිහිවීම කාන්තාවන්ට විශාල ශක්තියකි.

එහෙත් කාන්තාවක් පොලිස් මුල් පුටුව ආසන්නය දක්වා පැමිණි ගමනක් ශ්‍රී ලාංකීය පොලිස් ඉතිහාසයෙහි නොවෙයි. 1866 සැප්තැම්බර් 03 වැනිදා ආරම්භ වූ ශ්‍රි ලංකා පොලිස් සේවයේ කාන්තාව සඳහා අවස්ථාව හිමි වන්නේ 1953 වසරේදීය. එහෙත් පොලිස් සේවය මෙරට ස්ථාපිත වන්නේ ඉංගී‍්‍රිසින් විසින් මුහුදුබඩ ප්‍රදේශය අත්පත් කර ගැනීමත් සමඟිනි. ඒ ක්‍රිස්තු වර්ෂ 1796 දීය. ඉතිහාසගත තොරතුරු අනුව මුල්ම පොලිස් ස්ථානය ලෙස මරදාන පොලිසිය ආරම්භ කරමින් විධිමත් ලෙස පොලීසියේ රාජකාරි කටයුතු සඳහා මුල පුරන ලද්දේ පොලිස්පති ජෝර්ජ් විලියම් රොබින්සන් මහතා විසිනි. එතැන් සිට ගෙවී ගිය වසර 153 ඉතිහාසය තුළ පොලිස්පතිවරු 54 දෙනකුගේ නායකත්වය පොලිස් සේවාවට ලැබී ඇත.

ආරම්භයේදී පිරිමින්ට පමණක් සීමා වූ මෙම සේවය කාන්තාවන් හට ලබාදීමේ ගෞරවය හිමි වන්නේ පොලිස්පති සර් රිචඩ් අලුවිහාරේ මහතාටය. ඔහු පොලිස් සේවයේ 12 වැනි පොලිස්පතිවරයාය. එසේම ඔහු අප රටේ ප්‍රථම ස්වදේශික පොලිස්පතිවරයා වීම ද සුවිශේෂිතය. ඉතිහාසයේ තොරතුරු ලියැවී ඇති ආකාරයට අනුව මුල්ම කාන්තා පොලිස් නිලධාරිනිය ලෙස සැලකෙන්නේ සෝමා ගුණවර්ධන මහත්මියයි. එසේම පොලිස් ඉතිහාසය ලියන තොරතුරු අනුව මුල්ම කාන්තා පොලිස් සැරයන්වරිය වන්නේ ප්‍රමිලා දිවාකර මහත්මියයි. 1958 වසරේදී පොලිස් කොස්තාපල්වරියක ලෙස සේවයට එක්වන ඇය පොලිස් සේවයේ ප්‍රථම උප පොලිස් පරීක්ෂවරිය, කාන්තා ප්‍රධාන පරීක්ෂිකාව ලෙස ද සේවය කරමින් 1994 වරේදී පළමු කාන්තා පොලිස් අධිකාරිනිය බවට පත් වූයේ වර්තා ගණනාවක් තබමිනි.

පොලිස් ඉතිහාසය තුළ පොලිස්පති මුල් පුටුවට කාන්තා නියෝජනයක් හිමිවීමේ බලාපොරොත්තුව නොපෙනෙන මානයක තිබුණත් ජාතික පොලිස් කොමිසම පිහිටුවීමත් සමඟ කාන්තා නියෝජනයට අවස්ථාව උදාවූයේ කාන්තා පොලිස් නිලධාරිනියන් විශාල සංඛ්‍යාවකට උසස්වීම් හිමිවෙමිනි. එහි ප්‍රතිඵලයක් ලෙසින් පසුගිය වසරේ පොලිස් පොතේ අලුත් පිටුවක් පෙරලමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් අට දෙනකු පත්වීම ඉතිහාසගත වූ සිදුවීමකි.

 

2020/10/21 තරුණි බලන්න.