ෆෙල්ට් එම්බ්‍රොයිඩරි ක්‍රමයෙන් හැඩවූ මේස දරණුවක්

ජුනි 2, 2021

 

ඉතා ආකර්ෂණීය මැහුම් කලාවක් වූ මේ ෆෙල්ට් එම්බ්‍රොයිඩරි කලාවේ ඇති විශේෂත්වය වන්නේ ෆෙල්ට් රෙදි මත මසන විසිතුරු මැහුම් රටාය.

එම මැහුම් රටා තුළින් නිර්මාණයට අමුතුම කලඑළියක් ගෙනදෙන බව නම් නොරහසකි. මේ එම ක්‍රමයෙන් හැඩවූ මේස දරණුවක් වන අතර එය නිර්මාණය කරගන්නා ආකාරය මෙලෙසින් අපි ඔබ වෙත ගෙන එන්නෙමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

විවිධ වර්ණයන්ගෙන්

ෆෙල්ට් රෙදි කොටස්

වර්ණ කීපයකින් පර්ල්

කොට්න් නූල්

පර්ල් කොට්න් නූල

භාවිත කළ හැකි

ඉඳිකටුවක්

රෙදි අලවන

ගම් වර්ගයක්

පැන්සලක්, කතුරක්

 

නිර්මාණය කිරීම

ඔබ තෝරා ගන්නා නිර්මාණයට අනුව අදාළ මල් සහ කොළ සියල්ලම ෆෙල්ට් රෙදි මත ඇඳ වෙන වෙනම කපා ගන්න. දැන් පසුබිම සඳහා රවුමක හැඩයක්ද තවත් බීක්කු හැඩයක්ද වර්ණ දෙකක ෆෙල්ට් රෙදි මඟින් කපාගන්න. ඒ සෑම කොටසකට අග (වාටිය) කුඩා නූල් දුවවීමකින් ශක්තිමත් කරගත යුතුය.

මේ නිර්මාණයේ රවුම් කොටසේ අගට මාළුකටු මැස්ම මසා තිබේ. දැන් ඒ මත මෝස්තරයට අනුව මල් සහ කොළ තබා රෙදි අලවන ගම්වලින් අලවා ගන්න. මෙය හොඳින් වේළුණු පසු ඒ මත හෑන්ඩ් එම්බ්‍රොයිඩරි මැහුම් ක්‍රම යොදා ගනිමින් මල්මත දාර, නාරටි සහ නටු මසා ගන්න. අමතර නටු සහ කොළ ඉති නැටි මැස්මෙන් මසන්න. මෙහි දම් පැහැති මල මත පිස්ටිල් මැස්ම මසා ඇත. එහි මැද ඇති කහ රවුම වටා බ්ලැන්කට් මැස්ම මසා තිබේ.

ඊට අමතරව එහි ඇති අනෙක් මල් වටා නැටි මැස්ම, දම්වැල් මැස්ම, මාළු කටු මැස්ම, ෆ්ලයි මැස්ම, පිහාටු මැස්ම‍, පිස්ටිල් මැස්ම, ප්‍රංශ ගැට, ලේසි ඩේසි මැස්ම, බොත්තම් කාස මැස්ම සහ නූල් දිවවීම කර ඇත.

මෙම මල් සහ කොළ මැසීම සඳහා නූල් තෝරා ගැනීමේදී වර්ණ තෝරා ගැනීම ප්‍රවේශමෙන් කළ යුතුයි. එය වඩාත් විසිතුරු නිර්මාණයක් බිහි කිරීමට උපකාර වනු ඇත.

ෆෙල්ට් රෙදි ඝනකමින් යුක්ත වන නිසා එහි අග නූල් යාමකින් තොරය. එනිසා හසුරුවා ගැනීම ද පහසුය. සෝදා ගන්නේ නම් නිතරම සේදීමෙන් වැළකිය යුතුයි. මෙය වඩාත් සුදුසු වන්නේ බිත්ති සැරසිලි, කුෂන් කවර/මේස දරණු සහ ටේබල් රනර් ආදියටය. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ෆෙල්ට් රෙදි භාවිතයෙන් ත්‍රිමාණ නිර්මාණ බිහිකිරීමට හැකිවීමයි.

 

 

 

උපදෙස් -

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

සාගලී ලියනගේ