සූරියකාන්ත මල් ගෙනෙන කලඑළිය

ජනවාරි 3, 2022

මේ අගනා නිර්මාණය රිබන් එම්බ්‍රොයිඩරි කලාවට පෙම් බැඳි ඔබ වෙනුවෙන්මයි. දීප්තිමත් කහ පැහැයෙන් බබලන සූරියකාන්ත මල් කොමළියන්ගේ සුන්දරත්වය ඔබේ නිවහනට කැඳවා ගන්නට මෙය බිත්ති සැරසිල්ලක් ලෙසින් නිමවා ගන්න.

 

අවශ්‍ය දේවල්

අඟල් භාගෙ, කාල ප්‍රමාණවල

කහ වර්ණ කහිපයක රිබන්

කහ පාට බේබි රිබන්

කොළ පාට අඟල, අඟල් භාගෙ

පළල රිබන්

කොළ පාට ඔගන්සා රිබන්

කොළ පාට සැටින් රෙදි කැබලි

දුඹුරු වර්ණ කිහිපයක හා කළු වර්ණ

මිලිමීටර් දෙක පළල රිබන්

ලිනන් රෙදි

රෙදි පින්තාරු තීන්ත හා පින්සල්

රිබන් මහන ඉඳිකටු

රාමුව, කතුරු, කැරැලි නූල්, අතේ

මහන ඉඳිකටු

 

නිර්මාණය කිරීම

පළමුව මේ නිර්මාණය අවශ්‍ය ප්‍රමාණයට විශාලකර දළ සටහනක් සකසා ගන්න. රෙදි කොටස ගෙන දළ සටහන එහි පිටපත්කර බඳුන පින්තාරු කරගන්න. නැත්නම් මෙවැන්නක් ස්ක්‍රීන් ප්‍රින්ට් ක්‍රමයට රෙදි කොටස මත මුද්‍රණය කරගත හැකියි.

දැන් රෙදි කොටස රාමුවට දමා මැසීම අරඹන්න. ඉන්පසු මල් මැද දුඹුරු හා කළු වර්ණ රිබන් භාවිතයෙන් ප්‍රංශ ගැට යොදා පුරවා ගන්න. කහ වර්ණ විවිධ ප්‍රමාණයේ රිබන් භාවිත කරමින් මධ්‍යස්ථ රිබන් මැස්ම, වාමාවර්ත රිබන් මැස්ම, දක්ෂිණාවර්ත රිබන් මැස්ම ආදිය ගැළපෙන ලෙස යොදා ගනිමින් මල් පෙති මසාගන්න. නටු, නැටි මැස්මෙන් හා රිබන් එක අඹරවා ඇඹුරුණු රිබන් මැස්මෙන් මසාගන්න.

කොළ හා පොහොට්ටු රිබන් මැස්ම, කෙළින් මැස්ම ආදිය භාවිත කරමින් ගැළපෙන වර්ණ රිබන්වලින් මසන්න. සමහර කොළ ඔගන්සා රිබන් යොදා මසා ඇත. සැටින් රෙදි කොටස් ද දෙපැත්ත තරමක් නූල් හැර කොළ ලෙස සකසා මසා ඇත. සියල්ල මැසූ පසු නිර්මාණය යටින් රිබන් කොටස් රෙදි කොටසට හසුවන සේ තබා නූල්වලින් මසාගන්න. පසුව මේ නිර්මාණය කැමැති ලෙසින් රාමුකර එයට වටිනා පෙනුමක් ලබාගන්න.

 

 

 

උපදෙස්

ප්‍රවීණ උපදේශිකා

ශිරන්ති පෙරේරා