වෙසක් සැමරුමේ හැමදාමත් දකින අටපට්ටම මෙහෙම හදමු

මැයි 2, 2022

 

ලෝක බෞද්ධ ප්‍රජාවගේ ප්‍රධානතම ආගමික උත්සවය වෙසක් උත්සවයි. මේ නිසාම සතියක් පුරාවට බෞද්ධයන් සම්බුදු තෙමඟුල සමරයි. මේ කාලෙට වෙසෙක් කුඩුවලින් නිවෙස සරසන්න පොඩිත්තන් මහත් රුචිකත්වයක් දක්වයි. එහෙත් මෙවර නම් වෙළෙඳසැලකින් වෙසක් කුඩු මිල දී ගැනීමත්, අමුද්‍රව්‍ය සොයා ගැනීමත් තරමක් අපහසු වේවි. කිසිදු මුදලක් වැය නොකොට අපූරුවට අට පට්ටමක් නිර්මාණය කර ගන්නා අන්දමයි මේ කියා දෙන්නට සූදානම.

අවශ්‍ය ද්‍රව්‍ය

උණ හෝ බට ගසකින්

කපාගත් සමාන කෝටු

24ක්

නූල්, කම්බි හෝ කෙසෙල්

පට්ට

සව් කොළ, පරණ

පත්තර,

පොල් මටළු, අමු

කෙසෙල්

කොළ, පොල් කොළ,

ගොක් කොළ හෝ ඔබට

පහසුවෙන් සපයාගත

හැකි ආදේශක ද්‍රව්‍යයක්

පාප්ප සඳහා පාන් පිටි /

උණු වතුර ස්වල්පයක්

කතුරක්

වියළි කෙසෙල් පට්ට

 

සාදන ක්‍රමය

උණ හෝ බට ගසකින් කපාගත් සමාන උස ඇති කෝටු 24ක් ගන්න. නැතිනම් ඉරටු ද භාවිත කළ හැකියි. එයින් කෝටු හතරක් ගෙන සමචතුරස්‍රයක් හදා ගන්න. ඒවා හොඳින් ගැට ගසා ගැනීමට කම්බි හෝ නූල් කෙසෙල් පට්ට අධාර කරගන්න. ගැට ඉතාමත් තදින් ගසා ගන්න. මෙවැනි සමචතුරස්‍රාකාර කොටු 6ක් අවශ්‍යයි. එම සමචතුරස්‍රාකාර කොටු 2ක් ගෙන ඒවා නැවතත් ගැට ගසා ගන්න. එපරිද්දෙන්ම මුළු සම්බන්ධ වන පරිදි එවැනි කොටු හතරක් සම්බන්ධ කර ගැට ගසාගන්න. දැන් අටපට්ටම් රාමුවක් ලැබී ඇත.

ඔබට මෙය අලවා ගැනීමට කෙසෙල් කොළ භාවිත කරන්නේ නම් ඔබේ වත්තේ තිබෙන කෙසෙල් ගසේ ඇති ලොකුම කෙසෙල් කොළය කපා ගන්න. එය ළිප පත්තු කර හොඳින් තවා ගන්න. කෙසෙල් කොළය තැවීමෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳින් ඕනෑම අයුරකින් නමා ගැනීමේ හැකියාවයි. එවිට ඉරෙන්නේ නැත. එයින් රාමුවේ ප්‍රමාණයට කොටුවට කොළ කපා ගන්න. දැන් සාදාගත් පාප්ප ටික අට පට්ටමේ ලී මත තවරන්න. පසුව සීරුවෙන් කෙසෙල් කොළය අලවා ගන්න. මේ ආකාරයට ලී මත පාප්ප තවරා උඩ සහ යට පැත්ත හිස්ව තබා අනෙකුත් කොටු හතර පැත්තෙන්ම අලවා ගන්න. ත්‍රිකෝණාකාර හැඩයට ඉතිරි වූ අනෙකුත් කොටු කෙසෙල් ගසෙහිදීම වියළුණු කෙසෙල් කොළ අලවා ගන්න. එම කොළ තවා ගැනීම අවශ්‍ය නැත. ස්වාභාවිකවම වියළී පදම්ව ඇත.

අටපට්ටමක ත්‍රිකෝණාකාර කොටස් 8ක් අන්තර්ගත වේ. එබැවින් එම වියළි කොළවලින් එම සියලුම ත්‍රිකෝණ 8 අලවා ගන්න. ඉන්පසුව කෙසෙල් පට්ට ගෙන පටි ලෙස කපා ගෙන අටපට්ටමේ ඇති දාරවල හොඳින් අලවා ගන්න. මෙයින් අටපට්ටමට ලස්සනක් ලැබේ. ඇලවීමේදී පාප්ප තරමක් වැඩිපුර තවරා ගන්න. දැන් අටපට්ටමට තවත් ලස්සනක් ලබා ගැනීමට සවරම් අලවා ගන්න. ඒ සඳහා ද කළ යුත්තේ ඔබ තෝරා ගත් අමු කෙසෙල් කොළයක් නමා සිහින් තීරු දිගට කපා ගැනීමයි. මෙය අලවා ගැනීමට අපහසු නම් නූලක් ගැට ගසා අටපට්ටමට සම්බන්ධකර ගන්න. පහළට සවරම් දැමීමේ දී වියළි කෙසෙල් කොළ භාවිත කළ හැකියි.

දැන් අටපට්ටම සාදා අවසන්. මෙය ආලෝක කිරීමට පොල්තෙල් පහනක්, ඉටි පන්දමක් හෝ බල්බයක් භාවිත කළ හැකියි. සව් කොළ, පත්තර පිටුෙ, පොල් මටළු ආදියෙන් මෙය සකසන්නේ නම් ඉහත ආකාරයටම මෙය නිර්මාණය කරගන්න. එවැනි ද්‍රව්‍යයකින් මෙය සකසන්නේ නම් කඩදාසි මත බෝ කොළ, ධර්ම චක්‍ර, මලක ආදී හැඩයක කැටයමක් කපාගන්න. එලෙස කැටයම් කපා ගැනීමෙන් කූඩුව එළිය කළ විට වැඩි ලස්සනක් ලැබේ. පොල් කොළ හෝ ගොක් කොළ ගෙන වියා මේ අටපට්ටම ආවර්ණය කරගන්නත් පුළුවන්.

 

උපදෙස්

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ඉරේෂා අබේකෝන්