ඉවතදමන පොල්කටුවෙන් මවන සුන්දර බිත්ති සැරසිලි

ඉවතලන දෙයින් නිර්මාණ කටයුත්තක නියැළෙද්දී සිතට දැනෙන සතුට වදනින් කිව නොහැකි තරම්.
පෙබරවාරි 20, 2023

දවස ගානේ අපි මුළුතැන්ගෙයින් ඉවතලන පොල් කටු නිර්මාණ කරා යොදවන්නට නැමෙන සිතත් හරිම පොහොසත්. ඒ වැඩි දෙනෙක් එය කුණු කූඩෙට ම සීමා කරන නිසා. ඉඩකඩ නොමැති තට්ටු නිවාස, අපාර්ට්මන්ට් යනාදියෙහි පොල්කටු එකතු කිරීමෙන් කැරපොත්තන්.... ආදිය බෝවීමට වැඩි ඉඩකඩක් ඇති නිසා ඒවා විසි කිරීමට පෙලඹුණත් මේ ක්‍රමයට පොල් කටුව ශුද්ධ පවිත්‍ර කරද්දී කිසිම සතෙක් බෝවේ යැයි කිව නොහැකියි.පොල්කටු කිහිපයක් පිරිසුදු කර ගෙන නිර්මාණ රැසක්ම කරගත හැකි වේවි.

මේ පොල්කටුවලින් නිම කරගත් බිත්ති සැරසිලි කිහිපයක්.

*පිහියකින් හෝ රේසර් එකක් ආධාරයෙන් පොල්කටුවේ මතුපිට සහ ඇතුළු පැත්ත හොඳින්ම පිරිසුදු කරගත යුතුයි.මෙහිදී පොල්කටුවට හොඳ මටසිළුටු ස්වභාවයක් ලැබේ. වැලි කඩදාසියකින් ඇතිල්ලීමෙන් ද මේ මටසිළුටු ස්වභාවය ලැබේ. මෙසේ පොල්කටු කිහිපයක් මටසිළුටුකර එකතුවක් බවට පත් කරගැනීමෙන් කෘමි සතුන් බෝවීමක් සිදු නොවේවි.මේ පොල්කටු එකතුව විවිධ නිර්මාණ අත්හදා බලන්නටත් රුකුලක් වේවි.

පොල්කටුවලින් කෙරෙන නිර්මාණ ව්‍යාපාර කටයුත්තක් සඳහා යොදවන්නේ නම් ග්‍රයින්ඩරයකින් ශුද්ධ කරගැනීම සුදුසුයි.

මෙසේ පිරිසුදු කරගත් පොල්කටු ලැකර් වැනි දෙයක් භාවිතයෙන් පොල්කටුවේ ස්වභාවික වර්ණය, පෙනුම රැකගෙන කරන නිර්මාණත් බොහෝවිට ඔබේ ඇස ගැටී තිබේවි.

* මේ බිත්ති සැරසිලි සඳහා එක්කරගන්නා පොල්කටුවලට බැනර් පේන්ට්, දියසායම්, ලැකර් ... වැනි දේකින් පාටකර වේළීමට තබන්න.

* ඇස්, පිහාටු ආදිය කාඩ්බෝඩ් හෝ එවැනි බෝඩ් වර්ගයක් ගෙන ප්ලැටිග්නම් වැනි දේකින් වර්ණ ගන්වා ගන්න.

* හොට කාඩ්බෝඩ් හෝ වර්ණ කඩදාසිවලින් කපා අලවා ගන්න.

* පාද සඳහාත් ⁣කාඩ්බෝඩ් ම එකතු කරගත හැකියි. මේ නිර්මාණයේ පාද සඳහා එක්කරගෙන ඇත්තේ වර්ණ ගන්වා ගත් කජු ලෙලිය.

* කොණ්ඩයක් අවශ්‍යම නැහැ.වර්ණ ගන්වා ගෙන වේළා ගත් ස්වභාවික කොණ්ඩයක කෙස්ගස් එකතුවක්, පුවක් ලෙලි හෝ පොල් ලෙල්ලේ ඇතුළු පැත්තේ ඇති කොහු හෝ භාවිත කළ හැකියි.

* දැන් මේ සියල්ල Glue gun එකකින් හෝ හොඳින් ඇලවෙන ගම් වර්ගයකින් අලවා ගන්න.

හරිම හුරුබුහුටි සරල, සුන්දර බිත්ති සැරසිල්ලක් පහසුවෙන් මෙලෙස නිර්මාණය කරගත හැකියි.

මෙය පෙරපාසල් දරුවන්ට, ප්‍රාථමික පංතිවල සිටින දරුවන්ට මෙන්ම බාල මහලු ඕනෑම කෙනකුට කරගත හැකි දැකුම්කළු නිර්මාණයකි.

ප්‍රමිතියකට අනුව කරන්නේ නම් ස්වයං රැකියාවක් ලෙසින් ආදායමක් උපදවා දේවි.

පරිසරයට හිතකාමී මෙවැනි නිර්මාණ කෙරෙහි ඔබේ දරුවන් වැඩි වැඩියෙන් යොමු කරවන්න. නිවෙස අලංකරණය සඳහා මෙවැනි නිර්මාණයක් එක්කර ගැනීමෙන් වෑහෙන්නේ දේශීයත්වයයි.ඔබේම අතින් කෙරෙන නිර්මාණයක් නම් අවසානයේ සිතට දැනෙන තෘප්තිය මිල කළ හැකි දෙයක් නොවේවි.

 

උපදෙස්:

අත්කම් නිර්මාණ ශිල්පිනී

ශ්‍රීමාලි සමරවික්‍රම