ක්‍රොස් ඕපන් හරි හැඩයි සාදයේ තරුව ඔබයි

පෙබරවාරි 24, 2025

සාම්ප්‍රදායික පෙනුමින් ඔබ්බට ගිය විලාසිතා හඹා යන ආදරණීය ඔබට කදිම බ්ලවුසයකි. අද තරුණියන් වැඩිපුරම අඳින්න කැමැති මෙවැනි හැඩැති මෝස්තරයි. මේ ක්‍රොස් ඕපන් බ්ලවුසයකි. සැදෑ සාදයකට හැඩ වන්නත් කදිමයි.

 

අවශ්‍ය මිමි

 

01. උරහිස = අඟල් 13

02. පපුව වට = අඟල් 30

03. ඉණ වට = අඟල් 26

04. උකුළ වට = අඟල් 33

05. කර වට = අඟල් 13

06. අත දිග = අඟල් 16

07. අත වට = අඟල් 10

08. ඉදිරිපස මූලික උස = අඟල් 07

09. ඩාට් පරතරය =අඟල් 06

 

ලබාගත් මිමි ගණනය කරමු

 

01. උරහිස /2 = 13/2 = අඟල් 6 1/2

 

02. පපුව වට / 4 = 30/4 = 7 1/2+8 = අඟල් 8

 

03. ඉණවට /4 = 26/4 = 6 1/2+1 ( ඩාට්) = අඟල් 7 1/2

 

04. උකුළවට / 4 = 33/4 = 8 1/4 + 1/2 = අඟල් 9 3/4

 

05. කර ගැඹුර අඟල් 5ක් ගන්න. කර පළල මූලික කරට වඩා අඟල් 1ක් ලෙස ගෙන කර පළල වැඩිපුර ගන්න. එනම් මූලික කර පළල = 2 1/2+1 = අඟල් 3 1/2

 

06. අත දිග = අඟල් 16

 

07. අත වට = 10/2 = අඟල් 5

 

08. ඩාට් පරතරය 6/2 = අඟල් 3

 

ඉදිරිපස

 

මූලික පතරොමේ ඉදිරිපළුව නැම්මට තබා අඳින්න. අවශ්‍ය කර ගැඹුර දෙන්න. ඉණ සිට අඟල් 2ක් ඉහළට කර රේඛාව හැඩ කරන්න. ඉණෙන් වෙන් කරන උඩ කොටස තනි පළුව රෙදි මත කොටස් 02ක් සිටින ලෙස නැම්මට තබා අඳින්න. පහළ කොටස ෆ්ලෙයාඩ් හැඩයක් එන ලෙසින් තීරු කපා ඈත් කර අලවන්න.

 

පිටුපස පළුව

 

නැම්මට තබා කපන්න. ඉණ වෙන් කරන්න. ඉදිරිපළුව මෙන් පහත කොටස තීරු කපා වෙන් කර ෆ්ලෙයාඩ් හැඩය ලබා ගන්න.

 

අත සැකසීම

 

මූලික අත අඳින්න. පහත වාටියට ඉලාස්ටික් දැමීමට රැළි අගය ලබා දෙන්න.

 

මුලින්ම ඉදිරි පළුවේ කර පේශින් තබා අලවා මසා ගන්න. එලෙසින්ම පිටුපස කර ද පේශින් කර මසාගන්න. පසුව ඉදිරි හා පිටුපස උරහිස එකට තබා මසා ගන්න. අත ඉහළින් රැළි තබා උරහිසට තබා මසන්න. අත අග පහත ඉලාස්ටික් තබා රැළි කරමින් මසන්න.

 

පහත කපා ගත් ෆ්ලෙයාර්ඩ් කොටස කඳ කොටසට තබා මසන්න. ඉණ හැඩවීමට ඉදිරි පළුවේ Cross Open කොටස හා අංශ කොටස එකතු කර පටි කොටස් දෙකක් සම්බන්ධ කරන්න. අංශ මසා පහත වාටිය මසා ගන්න.

උපදෙස්
කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා
අනුෂා සඳමාලි

 

[email protected]