ගමනට බිමනට හුරුබුහුටි වූල් තොප්පියක්

පෙබරවාරි 27, 2023

හැඩට වැඩට ලස්සනට ඉන්න අපේ තරුණියන් හරි ම කැමැතියි. ඒ නිසාම විවිධ විලාසිතා අපේ යුවතියන් අත්හදා බලනවා. හිස් පලඳනා, හිස්වැසුම් වලටත් නව යොවුන් වියේ පසුවන යුවතියන් වැඩි කැමැත්තක් දක්වන්නේ එයින් වෙනස්ම අලංකාරයක් තමන් ගේ පෙනුමට එක්කරන නිසයි. ඒ නිසාම අපි හිතුවා මෙවර අත්කම් විශේෂාංගයෙන් වූල්වලින් ගෙතිය හැකි හුරුබුහුටි තොප්පියක් ගොතන ආකාරය කියලා දෙන්න. වර්ණ කිහිපයක්ම වුවත් යොදාගෙන පහසුවෙන් ගෙතිය හැකි මේ අපූරු තොප්පිය ගොතා ඔබ යන ගමන බිමන තවත් හැඩකර ගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

පාට දෙකකින් වූල්

රිබන්

සුදු පැහැ පබළුවක්

නූල්

ඉඳිකටු

ගෙතුම් කටුවක්

 

නිර්මාණය කරගන්නා ආකාරය

 

පළමුව 1 රූපයේ පරිදි දම්වැල් තුනක මුදුවක් ගොතා ගන්න. දැන් 2 රූපයේ පරිදි එයට දෙපට පිරවුම් 12ක් ගොතා රවුමක් සාදා ගන්න. 3 රූපයේ පරිදි මීළඟ පේළියට දෙපට පිරවුම් එකක්, දෙකක් රටාවට රවුමට ගොතන්න. ඒ රටාවටම පේළි 3ක් ගොතා 4 රූපයේ දැක්වෙන ආකාරයට සම්පූර්ණ කරගන්න.

පසුව පාට මාරුකර දෙපට පිරවුම් දෙකක් එක සිදුරකට සහ දෙපට පිරවුම් පහක් සිදුරු පහකට රටාවට පේළි තුනක් 5 රූපයේ දැක්වෙන පරිදි සම්පූර්ණ කරගන්න.

දැන් 6 රූපයේ පරිදි දම්වැල් තුනක් ඉහළට ගොතා පේළිය අරඹා, ඊළඟ සිදුරෙන් එනම් කළින් පේළියේ දෙපට පිරවුමේ අතරින් ඉදිරිපසින් කටුව යවා දෙපට පිරවුමක් ද, එලෙසම ඊළඟ සිදුරෙන්, තොප්පියේ ඇතුළු පැත්තෙන් දෙපට පිරවුම අතරින් කටුව යවන්න. 7 රූපයේ දැක්වෙන පරිදි දෙපට පිරවුමක් ද ගොතන්න.  මෙලෙස පේළිය පුරාවට ඉදිරිපසින් ඇතුළු පැත්තෙන් ලෙස මාරුවෙන් මාරුවට පිරවුම් යොදන්න. එවිට පේළිය 8 රූපයේ ආකාරයට දිස් වේ.

මෙම රටාවේ දෙවැනි පේළිය ද එලෙසම ගෙතුමේ ඉදිරිපසින් සහ ඇතුළු පැත්තෙන් දෙපට පිරවුම් යෙදිය යුතු අතර කලින් පේළියේ ඉදිරිපස ගෙතුමටම ඉදිරිපස ගෙතුමෙන් සහ ඇතුළු පැත්තේ ගෙතුමෙන් ඇතුළු පස ගෙතුමටම යෙදිය යුතුය.

දැන් 9 වැනි රූපයේ පරිදි දෙවන පේළිය අවසානයට මෙම රටාවෙන් පේළි හතක් ගොතන්න. 10 රූපයේ පරිදි කලින් තොප්පිය මුදුනට යොදාගත් තවත් පේළි තුනක් ගොතන්න. 11 රූපයෙන් දැක්වෙන ආකාරයට නැවතත් පෙර වර්ණයෙන්ම තවත් පේළියක් ගොතන්න. එවිට එම රටාවෙන් සම්පූර්ණ පේළි 11ක් තිබිය යුතුය.

තොප්පියේ වාටිය ගෙතීමට, තනිපට පිරවුමක් යොදා ගත යුතු අතර 12 රූපයේ පරිදි එය පෙර රටාවෙන්ම ඉදිරිපසින් පමණක් කටුව පන්නා පළමු පේළිය ගත යුතුය.  දැන් 13 රූපයේ පරිදි

දෙවැනි පේළියේ සිට සාමාන්‍ය පරිදි ගෙතුමේ සිදුරුවලින් තනිපට පැන්නුමෙන් පේළි හතරක් ගොතන්න.

14 රූපයේ දැක්වෙන ආකාරයට අවසාන පේළිය සඳහා නැවතත් මුදුණට භාවිත කළ වර්ණයම යොදා ගන්න.

අවසානයට 15 රූපයේ දැක්වෙන පරිදි රිබන් බෝ එකට පබළුව අමුණා එය තොප්පියට මසා ගන්න.

 

 

උපදෙස්

වූල් ගෙතුම් ශිල්පිනී

මධූෂා වික්‍රමනාරායන