නව වසරේ කැපී පෙනෙන්නට කාර්යාලයට හැඩට යන්න

දෙසැම්බර් 18, 2023

ඔබ හැමදාමත් එකම විදිහට එකම විලාසිතාවකට නේද සාරිය අඳින්නෙ? මේ හුරුවී සිටින ක්‍රමයට වඩා වෙනස්ම ක්‍රමයකට සාරිය අඳින්න පුළුවන් නම් අපිට එහි විවිධත්වයක් දකින්නට පුළුවන්. අන්න එතකොටයි ඔබේ විශේෂත්වයක් ඉස්මතු වී පෙනෙන්නේ.

එහෙම වෙනස් හැඩයකට වෙනස් පෙනුමකට අඳින සාරියට සාරි හැට්ටයත් වෙනස් හැඩයකින් මසා ගැනීමයි හොඳම ගැළපීම.

එහෙනම් නව වසරේ මුල්ම දවසේ කාර්යාලයට යන්න අපූරු ප්‍රින්සස් ලයින් සාරි හැට්ට විලාසිතාවකි මේ.

මේ සඳහා අවශ්‍ය මිමි මොනවා දැයි බලමු.

* උරහිස අඟල් 14 1/2

* කරවට අඟල් 14

* කර ගැඹුර අඟල් 6

* පපුව දක්වා උස අඟල් 10

* ඉණ දක්වා උස අඟල් 14

* පපුව වට අඟල් 36

* ඉණවට අඟල් 28

ඔපනැලි අතර පළල අඟල් 7

* අත උස අඟල් 9

* කැප් උස අඟල් 4

* අත අග වට අඟල් 12

* පතරොමේ අත්කට අඟල් 8

 

දැන් මේ ආකාරයට රෙදි කපා ගනිමු.

සාරි බ්ලවුසය සඳහා ඉදිරිපස විවර සහිත මෙන්ම කොළරයක් භාවිත කර ඇත. එමෙන්ම මෙය හයිනෙක් ආකාරයේ බ්ලවුසයකි.

බ්ලවුසයේ මෝස්තරය සඳහා ප්‍රින්සස් ලයින් එක භාවිත කර ඇත.

මුලින්ම පතරොමක් සාදා ගත යුතුයි. පතරොම සාදා ගැනීම සඳහා බලවාටියට තබා ගන්න. බලවාටියේ සිට අඟල් 1 1/2ක් ලකුණු කර නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යය යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩු කර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස හා සම්පූර්ණ උස පහත් කර හරහට රේඛා අඳින්න.

 

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස් ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට ඩාට් සඳහා අඟල් 1 1/2 හෝ 2ක් එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. GI යාකර අංශය අඳින්න .

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත් කට වක්‍රය අඳින්න.

ඔපනැලි අතර පළල දෙකට බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. k සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය KL වේ. ඩාට් පළල දෙකට බෙදා එම පිළිතුර L සිට දෙපසට ලකුණු කර Kට යා කරන්න. k සිට අත්කට මැදට ප්‍රින්සස් ලයින් හැඩය අඳින්න.

දෙපස ඩාට් සඳහා K සිට පපුව රේඛාවේ දෙපසට අඟල් 1 බැගින් ලකුණු කරන්න. ඉදිරිපස ඩාට් එක සඳහා නැම්මෙන් පපුව රේඛාවේ පහතට අඟල් 1ක් පහත්කරන්න. ලකුණු කරන ලද අඟල් 1ට යා කරන්න. අංශය පැත්තෙන් අඟල් 1ක් පපුව රේඛාවෙන් පහතට ලකුණුකර අඩු කරන ලද අඟල් 1ට යා කරන්න.

පතරොම වෙන් කිරීමට පෙර පසුපස කපාගන්න.

 

පසුපස

 

ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම නැම්මේ සිට අඟල් 1/2ක් අඩුවෙන් තබා ගන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත් කර කර අඳින්න.

ඉදිරිපස වාටිය නැම්ම රේඛාවෙන් අඟල් එකක් ඉහළටකර පසුපස වාටිය නැම්ම රේඛාව අඳින්න. පසුව එතැන් සිට අඟල් 1 1/2ක් පහත් කර වාටිය රේඛාව අඳින්න.

ඉණවට හතරෙන් බෙදා එම පිළිතුර පමණක් වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. මැහුම්වාසි තබාගන්න.

පසුපස කපාගත් පසු ඉදිරිපස වෙන් කරන්න. මැහුම් වාසි තබා කපාගන්න.

 

අත

 

අත සඳහා අවශ්‍ය රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අත අගවට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය B E වේ. ED යා කරන්න.

 

කොළරය

 

කරවට ප්‍රමාණය මැනගන්න. එම ප්‍රමාණයට අඟල් 2ක් පමණ එකතු කරන්න. උස අඟල් 5ක් පමණ ලෙස ද ගෙන රෙදි කපාගන්න. එය පහතට දෙකට නවා නැවත හරහට නවන්න. කර වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1 /4 ක් එකතු කර හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට පහතට කෙළින් ඉරක් අඳින්න. එය AC වේ. B සිට කොළරය කවාකාරව අඳින්න.

 

මේ විදිහට මසා ගනිමු.

 

* ප්‍රින්සස් ලයින් හැඩය මසන්න.

* ඩාට් දෙපස මසන්න.( පතරොමට ගත් විට ඩාට් ඉවත්කර රෙදි කපාගත හැකියි)

* උරහිස මසන්න.

* අත අල්ලාගන්න.

* කොළරය මසා පෙරළා කොළරය අල්ලා ගන්න.

* කොළරය ඇල්ලීමේදී ඉදිරිපසින් අඟල් 1ක් පමණ අතහැර අල්ලා ගන්න.

* වාටි මසා අංශය මසන්න.

 

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක