රෝස මල් කුමාරි හැඩකරනා ප්‍රින්සස් ලයින් ගවුම

දෙසැම්බර් 25, 2023

එකින් එක පිටු පිරවී ගිය මේ වසරේ අන්තිම සතියත් ඔන්න උදා වුණා. 2023 වසරේදී ඉටුකරගන්න නොහැකි වූ බලාපොරොත්තු ගොන්නක් ඔබ අතරත් ඉතිරි වී ඇති. දුක් නොවන්න. මේ ඒ බලාපොරොත්තු පෙළගස්වාගන්න හොඳම කාලයයි.

මේ ගෙවී යන සතිය ඔබ හොඳින් සැලසුම් කරගන්න. ඔබ ඇඳුමක් මසාගන්න පුරුදු වෙන්න සිටියා නම් මේ සතිය තුළදී එය ඔබට ක්‍රියාත්මක කළ හැකියි. ඒ සඳහා මඟ පෙන්වීමකි මේ. මේ ගවුම මැසීම හරිම පහසුයි. ඉතින් ලබන වසරේ ඔබේ ඇඳුම් ඔබේම දෑතින් මසා ගැනීමේ හැකියාව ඔබට උදාවේවි.

 

* උරහිස අඟල් 16

* කරවට අඟල් 14

* කර ගැඹුර අඟල් 7

* පපුව දක්වා උස අඟල් 10

* ඉණ දක්වා උස අඟල් 15

* පපුව වට අඟල් 38

* ඉණ වට අඟල් 30

* සාය උස අඟල් 34

* අත උස අඟල් 14

* කැප් උස අඟල් 4

* අත අග වට අඟල් 9

* පතරොමේ අත්කට අඟල් 9

බ්ලවුසය හා සාය වෙන වෙනම සාදා ඇති අතර බ්ලවුසය සඳහා ලේස් එකක් භාවිතකර ඇත. සාය සඳහා කෑලි 2 සාය භාවිතකර ඇත.

මුලින් පතරොමක් සාදා ගත යුතුයි. පතරොම සාදා ගැනීම සඳහා බලවාටියට තබා ගන්න. බලවාටියේ සිට අඟල් 11/2ක් ලකුණුකර නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස හා සම්පුර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

 

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස් ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

 

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා ඩාට් සඳහා එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. GI යාකර අංශය අදින්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

ඔපනැළි අතර පළල දෙකට බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. k සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය KL වේ. ඩාට් පළල දෙකට බෙදා එම පිළිතුර L සිට දෙපසට ලකුණුකර Kට යා කරන්න. k සිට උරහිස මැදට ප්‍රින්සස් ලයින් හැඩය අඳින්න.

පතරොම වෙන් කිරිමට පෙර පසුපස කපාගන්න.

පසුපස

පසුපස ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම නැම්මේ සිට අඟල් 1/2ක් අඩුවෙන් තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර කර අඳින්න.

පසුපස කපාගත් පසු ඉදිරිපස පතරොම වෙන්කර රෙදි කැපීමේදී මැහුම් වාසි තබා කපාගන්න. පළමු කොටස සඳහා ලේස් එකක් කපා ඇත. එය ලේස් එකකින් කපා ගන්න.

අත

අත සඳහා මූලික අතට භාවිතකර ඇති අතර එහි අත අගට බෑන්ඩ් කොටසක් අල්ලා ඇත. එම උස අඩුකර අත සාදා ගන්න.

අත සඳහා රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අතඅග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය රේඛාවේ හරහට ලකුණු කරන්න. එයB E වේ. ED යාකරන්න. E සිට පිටතට රැලි සඳහා අවශ්‍ය ප්‍රමාණය ගෙන Dට යා කරන්න. D ලක්ෂ්‍යයේ සිට අතේ රැලි සඳහා අඟල් 3ත් 5ත් අතර ප්‍රමාණයක් වැඩිකර අත අඳින්න.

සාය

සාය කැපීම සඳහා නැම්මට නවා තබාගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය ඉණ රේඛාවයි. ඉණ රේඛාවේ සිට පහතට සම්පුර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

ඔබට මෙම සාය සඳහා කෑලි 2 සාය හෝ රැලි සාය භාවිතා කළ හැකියි. මෙහි විවරය ඉදිරියට ගෙන මසා ඇත. ඉණට යොදා ඇති පටිය සඳහා වෙනම කපාගන්න.

මෙන්න මෙහෙම මසාගන්න

ප්‍රින්සස් ලයින් එක මසන්න.

උරහිස මසන්න.

අත රැලිකර බෑන්ඩ් එක අල්ලාගන්න.

අත අල්ලා අංශය මසන්න.

සාය අල්ලාගන්න.

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක