මනස සුවපත් කරන කතිර රටා

ජනවාරි 1, 2024

කතිර රටා එම්බ්‍රොයිඩරි කලාව අද ලෝකයේ මෙන්ම ලංකාවේ ද ජනප්‍රියම මැහුම් කලාව වී අවසානය. තරුණී කතිර රටාවට දිනෙන් දින ලැබෙන ඉමහත් ප්‍රතිචාර ඔස්සේ අපිට ඒ බව තහවුරු වේ. පසුගිය දිනෙක තරුණී දුරකතනයට ඇමතුමක් ආවේ විශ්වවිද්‍යාල සිසුවියකගෙනි. ඇය නිරන්තරයෙන්ම අප ලබාදෙන කතිර රටාව මසන බවත් ඒවා අලෙවිකර තම උසස් අධ්‍යාපනයට මුදල් සොයා ගන්නා බවත් ඇය පැවසුවේ ඉමහත් සතුටිනි. ඇත්තෙන්ම එවැනි දිරිය දියණියන් අපටද ආශීර්වාදයකි.

මේ විදිහට තරුණී පාඨක කාන්තා ඔබෙන් ලැබෙන දිනෙන් දින ඉහළ යන ඉල්ලීම් බොහෝය. ඒ නිසාම උදා වූ නව වසරේ කතිර රටාවට තවමත් ආධුනික ඔබ වෙනුවෙන් මූලික හැඳින්වීමක් මෙලෙස ගෙන එන්නෙමු.

මුලින්ම කතිර මහන්න අවශ්‍ය දේවල් හඳුනා ගනිමු.

හැමදාමත් අවශ්‍යවන පොදු දේවල් ටිකක් තියෙනවා. ඒවා එකවර මිලදී ගෙන තබා ගැනීම ඔබට හරිම පහසුයි.

 

රෙදි වර්ග

කතිර රටා එම්ඩ්‍රොයිඩරි කලාවට කොටු ගණන් කළ හැකි ඕනෑම රෙදි වර්ගයක් භාවිත කළ හැකියි. ඒත් අපි වැඩි වශයෙන්ම භාවිත කරන්නේ අයිඩා රෙද්දයි. මෙම අයිඩා රෙදි අඟලට කොටු 8, 11, 14, 16, 18, හා 20 ආදී වශයෙන් කොටුවේ ප්‍රමාණය අනුව ඇත. මේ අතරින් අපි කතිර රටා සඳහා භාවිතයට ගන්නේ අඟලට කොටු 11ක් සහ 14ක් ඇති අයිඩා රෙදිය. මෙම අයිඩා රෙදි විවිධ වර්ණවලින් ඇත. එනම් සුදු, කළු, ඇත්දළ පැහැ, දම්, ළා නිල් ආදී ලෙසය. අඟලට කොටු 11ක් ලෙස අප හඳුන්වන්නේ රෙදි කොටසේ අඟලක් ගත් විට එනම් අඟලක දිගක් ලකුණු කළ විට එහි කොටු 11ක් තිබීමයි.

එය වියමනක් ලෙස ඇති අතර ඔබට ගණන් කළ හැකියි. අඟලට කොටු 14ක් යනු රෙදි කොටසේ අඟලක දිගක් ලකුණු කළ විට එහි අපිට ගණන් කළ හැකි ලෙස කොටු ද 14ක් තිබීමයි. ඊට අමතරව ඉන්දියන් ජාවා රෙදි, ප්ලාස්ටික් කැන්වස් රෙදි, ගෝනි රෙදි හා වූවන් වීව් රෙදි ද භාවිත කළ හැකියි. එහෙත් ඔබ මතක තබාගත යුතු වැදගත් දෙයක් වන්නේ අපි කතිර රටා මැසීමට භාවිත කරන ජනප්‍රියම රෙදි වර්ගය වන්නේ අඟලට කොටු 11ක් ඇති අයිඩා රෙද්ද බවයි.

 

රාමුව

කොටු හැඩයට මෙන්ම රවුම් හැඩයට ලීවලින් සහ ප්ලාස්ටික්වලින් නිමවන ලද රාමු ඇත. විවිධ ප්‍රමාණවලින්ද රාමු ඇති අතර ඔබගේ කැමැත්ත අනුව රාමු තෝරා ගන්න.

කතිර රටා මැසීමට හොඳින් අත හුරු අයට රාමු අවශ්‍ය නොවේ.

 

ඉදිකටු

කතිර රටා මැසීමේදී අප භාවිත කරන්නේ ටැපැස්ට්‍රි ඉදිකටුවයි. මේවා විවිධ ප්‍රමාණවලින් ඇති අතර වඩාත් සුදුසු වන්නේ නොම්මර 24 හා නොම්මර 26 ටැපැස්ට්‍රි ඉදිකටුය.

නොම්මර 26 නොම්මර 24ට වඩා ප්‍රමාණයෙන් කුඩාය. අඟලට කොටු 11ක් හා අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මැසීමේදී වඩාත් සුදුසු වන්නේ නොම්මර 24 ඉදිකටුවයි. අඟලට කොටු 14ට වඩා වැඩි නම් නොම්මර 26 ටැපැස්ට්‍රි ඉදිකටුව භාවිත කළ හැකියි. වූවන් වීව් සඳහා නොම්මර 28 ඉදිකටුව භාවිත කළ හැකියි.

 

නූල් වර්ග

කතිර රටාවන්ට සුන්දර වූත් අලංකාර වූත් පෙනුමක් ගෙන දෙන්නේ කපු කැරලි නූල්ය. නූල් කැරැල්ලක පොටවල් 06ක් ඇති අතර අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් පොටවල් දෙක බැගින් වෙන් කරගෙන ඉදිකටුවට නූල් අමුණා මසාගත යුතුයි. ආපසු මැස්මෙන් outline කරගත යුතු ස්ථාන වේ නම් ඒ සඳහා භාවිත කළ යුත්තේ එක් නූල් පොටක් හෝ දෙපොටක් පමණි. ප්‍රංශ ගැටවලින් මැසිය යුතු අවස්ථාද වේ. ඒ සඳහා නූල් තුන් පොටක් භාවිත කරන්න. අඟලට කොටු 11ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් නූල් පොටවල් තුන බැගින් ඉදිකටුවට අමුණා කතිර මසාගත යුතුයි. සමහරු පොටවල් හයම භාවිතකර මසයි. සිල්ක් කැරලි නූල් ද ඇත. කැරලි නූල් වෙළෙද නාම කිහිපයකින්ද ඇත. ඇන්කර්, ඩීඑම්සී හා ඇපල් නූල් ලංකාවේ දී භාවිත කරයි.

 

කතුරු

හොඳින් කැපෙන කුඩා එම්බ්‍රාරොයිඩරි කතුරක් තෝරාගන්න. කතිර රටා අලංකාර කිරීමට පබළු, සීකුවින්ස් ආදිය භාවිත කළ හැකියි. සමනල ජෝඩුවක් වාගේ ආදරයෙන් වසරම ඉන්න නිදින කාමරේ මෙලෙස හැඩ කරගන්න

මේ කතිර රටාව මවන්න ඔබට අවශ්‍ය කරන දේවල්,

අඟලට කොටු 11 හෝ 14 සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්මර 24 හෝ 26 ටැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණ කපු කැරලි නූල්

රාමුවක්

කතුරක්

මේ විදියට නිර්මාණය කරගන්න,

මෙය සෙන්ටිමීටර් 63 x 93 ප්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තරමක් විශාල වේ. එනම් සෙන්ටිමීටර් 5 3/4 × 8 1/2 ප්‍රමාණයට ගත හැකියි. එමෙන්ම ඒ සඳහා නූල් පොටවල් තුනක් භාවිත කළ යුතුය. මෙම නිර්මාණය සඳහා අඟලට කොටු 14ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් සෙන්ටිමීටර් 4 1/2 × 6 5/8 ප්‍රමාණයට නූල් පොටවල් 2ක් යොදා මසා ගන්න.

එමෙන්ම නිර්මාණ රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කැබැල්ලක් කපාගත යුතුය. ඒ සඳහා හතර පැත්තෙන්ම අඟල් දෙක බැගින් හෝ අඟල් තුන බැගින් තබා ගන්න. අඟල් දහයෙන් දහයට නූල් ඇදගැනීම මඟින් මෝස්තර මැසීම පහසුවෙන්ම කරගත හැකියි. අඟලට කොටු ප්‍රමාණය මත තෝරා ගත් රෙදි වර්ගය අනුව නූල් පොටවල් ගණන තෝරා ගන්න. මෙය ඔබට කොටු ගණන්කර මසා ගත හැකියි.

වෙළෙඳපොළේ air issabel නමින් පෑනක් ඇත. එය මඟින් ද රෙද්දේ කොටු ඇඳ ගත හැකියි. එය පැය විසි හතරක් වැනි කාලයක්හි මැකී යයි. ඔබ කිසිවිටෙකත් කොටු වෙන්කිරීමට පෑනක් හෝ පැන්සලක් භාවිත නොකරන්න. මෙම නිර්මාණය සම්පූර්ණ කතිර මැස්මෙන් මසා ඇත.