ධන ධාන්‍යවලින් වසරම ධනවත් වෙන්න සෞභාග්‍යයේ ධාන්‍ය මංජුසාව

අප්‍රේල් 8, 2024

මේ ජීවන ගමනේ විවිධ අලුත් අත්දැකීම්වලට, අභියෝගවලට අපට මූණ දෙන්න වෙනවා කියන එක නොරහසක්. ඒ හැම අසීරු තැනක්ම උපරිමය හොඳින් ජය ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඔයාට පුළුවන් උපරිමෙන් අභියෝගවලට හොඳින් මූණ දෙන්න. හැමදේම දිහා සංකීර්ණව බලනතාක් ගොඩක් තැන් ජීවිතේ අමාරු වෙන්න පුළුවන්. නිවැරදි තීරණ, හරි දැක්ම, අනාගතේ ඔයා හැබෑකර ගන්න ආසාවෙන් ඉන්න හීන මේ සංකීර්ණ ජීවිතය සරල කරන්න උදවු වෙයි. ඉතින්, අපි ඇයි මහා බරක් තියන් හිත හිත ඉන්නේ.

ඒත් එක්කම හැමදේම වෙන්න තියෙන විදියට වෙයිනේ කියලා ඉන්න නම් එපා. මේ ගෙවෙන්නේ ඔයාගේ ජීවිතේ. මේ ජීවිතේ ඔයාට ඕනෙ විදියට හැඩගස්ස ගන්න ඕනෙ.

මලක පෙති වියළී යාමත් කලාවක්. සොඳුරු කලාවක්. ඒක ඔබ තහවුරු කරගෙන අවසන්. ඒ ඔස්සේ මාස ගණනාවක් පියවරෙන් පියවර යන ඔබට පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්න හොඳම කාලයයි මේ. සිංහල අලුත් අවුරුද්දට ගේදොර කලඑළි කරන ගෘහිණියන්ට මෙවැනි නිර්මාණවලින් ගෘහ අලංකරණය කළ හැකියි. ඉතින් එවන් නිර්මාණ අලෙවි කරන්නත් හොඳම කාලයයි මේ,

වසර ආරම්භයේදී පටන්ගත් වියළි මල් කලාවෙන් ජීවිතය ලස්සනවන බව දැන් ඔබට වැටහී ඇති අද නිර්මාණය නිවෙසට සෞභාග්‍යය කැන්දන නිමැවුමක්.

මේ සඳහා නිවෙසේ වතුර බොන වීදුරුවක් යොදා ගන්න පුළුවන්. වීදුරු බීම බෝතලයකුත් සුදුසුයි. මෙය පිරවුමට යොදා ගන්නේ ධාන්‍ය වර්ග. ඒවා සෞභාග්‍යය සංකේතවත් කරන ඒවා විය යුතුයි.

ධාන්‍ය වර්ග පිරවීමට පෙර බයින්ඩර් වැනි ගම් වර්ගයක් යොදා ගෙන තෝරාගත් වීදුරු බඳුනේ ඇතුළත බිත්ති සහ අඩිය තුළ ආලේප කරන්න. ධාන්‍ය වර්ග දමන මට්ටම තීරණය කිරීමේදී වර්ණ සංකලනය ගැන අවබෝධයක් තිබිය යුතුයි.

පළමු තට්ටුව දැමීමෙන් අනතුරුව අතින් පොඩි තට්ටුවක් දමා ධාන්‍ය වර්ග වීදුරුවට තදකර ගන්න. එවිට නිර්මාණය සෙලවුණත් එය එලෙසම පවතී.

පියවරෙන් පියවර ගම් ප්‍රමාණයක් ආලේප කරමින් අදාළ ධාන්‍ය වර්ග එකතු කරගන්න. මෙය රඳවා ගැනීම කිරීමේදී වෙට් ෆෝම් පාවිච්චි නොකළ යුතුයි.

ජලය මිශ්‍ර වීමෙන් ධාන්‍ය වර්ග පුස් කෑමට ලක්වේවි. එබැවින් ඩ්‍රයි ෆෝම් එකක් ඇතුළු කරන්න. දැන් පවනේ වියළා ගත් වී කරල්, බඩඉරිඟු කොළ, පොතු, බජිරි ඒ මත රඳවා ගන්න.

 

 

 

 

ඡායාරූප - ශාන් රූපස්සර

උපදෙස්:-

ධනංජය ෆ්ලෝරා අධිපති ප්‍රවීණ මල් සැකසුම් ශිල්පී

සමන් ජයලත්