බතික් ඇඳුමට ගැළපෙනම පෙන්ඩන්ට්

අප්‍රේල් 15, 2024

 

හරිම ලස්සන පෙන්ඩන්ට් එකක්... සුමාලිගෙ ගෙල හැඩකරපු ඒ පෙන්ඩන්ට් එක දැක්කම මට ඉබේටම වගේ එහෙම කියවුණේ ඒක එතරම්ම ලස්සන නිසයි. අලුත් අවුරුද්දට එයා ඔෆිස් ඇඳපු දම් පාට බතික් සාරියට ගැළපෙන විදිහටම දම් පාටින් එහෙම පෙන්ඩන්ට් එකක් ගත්තේ කොහෙන්ද කියලා හිතාගන්න බැරි වුණා. සුමාලි බතික් සාරියක් ගද්දී ඒකට හරියන පෙන්ඩන්ට් එකකුත් දෙනව ද? අනේ එහෙම දෙන තැන් තියෙනවද “මේක හැදුවේ මගෙ අතින්මයි“ මඳහසක් පාමින් සුමාලි පැවසුවේ හරිම සතුටින්. “අනේ මටත් කියලා දෙන්නකෝ. මාත් ආසයි මේ විදිහට පෙන්ඩන්ට් එකක් හදාගන්න..“ සුමාලි හරි බරි ගැහිලා වාඩි වුණේ මේ අලුත් වැඩේ කරන හැටි කියලා දෙන්නයි.

මේ රෙසින් නිර්මාණය සැකසුමට පළමුව රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 1:2 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍රකර ගන්න. මෙය මිශ්‍රකර ගත යුතුවන්නේ එක් පැත්තකටවන ලෙසය. නැතිනම් මිශ්‍රණයේ වායු බුබුළු මතු වීමෙන් ගුණාත්මක නිර්මාණයක්කර ගැනීමට නොහැකි වේවී.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණුන විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව හොඳින් වැටහේවී.

මේ පෙන්ඩනය නිර්මාණය කිරීම සඳහා round carbochon base tray එකක් අවශ්‍ය වේ. මෙය පෙනුමෙන් සාමාන්‍ය පෙන්ඩනයක යට කොටසක හැඩයක් ගනී. මේවා resing craft වෙළෙඳසල්වලින් මිලදී ගත හැකිය..

මේ අපූරු පෙන්ඩනය නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා ප්‍රධාන මාධ්‍ය වන්නේ චෝක්. ඒ සඳහා කැමැති වර්ණ තුනකින් චෝක් කෑලි තුනක් අවශ්‍යයි.

දැන් මෙය නිර්මාණකර ගනිමු. චෝක් කෑලි තුන කුඩා කැබැලිවලට කඩා ගන්න. ඉන්පසු ඉහත සඳහන් කළ බේස් ට්‍රේ එක මත සකසාගත් රෙසින් මිශ්‍රණයෙන් සුළු ප්‍රමාණයක් ආලේපකොට කඩා ගත් චෝක් කෑලි ඒ මත පුරවා ගන්න.

දැන් මේ චෝක් උණුකර ගත යුතුය. ඒ සඳහා හිට් ගන් එකක් ආධාරයෙන් තත්ත්පර කිහිපයක් රත්කර ගන්න. එසේ නැතිනම් තත්ත්පර කිහිපයක් අවන් එකේ තබා ගෙන ද චෝක් දියකර ගත හැකිය.

ඉන්පසු ටූත්පික් එකක් මඟින් දියකරගත් චෝක් රටාවකට හැඩකර ගන්න.

දැන් මේ විදිහට සකසාගත් මේ පෙන්ඩන්ට් එක නිමකර ගැනීමට Clear Oval cabochons Glass එකක් සවිකර ගත යුතුය. මෙය ක්ලියර් රේසින් ලේයර් එකකට සමානය. වෙනසකට ඇත්තේ කෝම්පිට්ටුවක් ආකාරයට ඉලිප්පි තීබීමයි. මෙයට වෙනස් හැඩයක් දීමට ක්ලියර් රේසින් මිශ්‍රණයෙන් බින්දු කිහිපයක් ගෙන ක්ලියර් ඕවල් ග්ලාස් එක හරි මැදින් උඩට ඉලිප්පෙන ලෙස තබන්න. දැන් මෙය වියැළුණාට පසුව round carbochon base tray එකට සම්බන්ධ කරන්න. මේ විදිහට වර්ණ කිහිපයකින් වූවත් පෙන්ඩන්ට් සකසා ගත හැකිය..

 

 රෙසින් නිර්මාණ ශිල්පිනී

සුදර්ශි ලංකා

I do creations by lanka