කහ කිරිල්ලියක සේ පියඹා යන්නට

මාර්තු 25, 2024

මිදුලේ අඹ ගහේ කහ කුරුල්ලෙක් වහලා. පුංචි පුතුට බත් කටවල් හතරක් පහක් කවාගන්න හොඳ අවස්ථාවක්. මෙන්න කහ කුරුල්ලා එකපාරටම ඉගිලිලා ගියා. බලන්න එපායෑ ලස්සන. ඉගිලී ගිය කහ කුරුල්ලා දැක්ක ගමන් මගේ සිතට නැඟුණේ අපුරු ඇඳුම් මෝස්තරයකි. දිගු අත සහිත ගැදර් කළ බ්ලවුසයකි. කාර්යාලයට හැඩට යන්න වගේම අමතර පන්ති යන දියණියටත් කදිමයි. ඒ විතරක්ම නොවෙයි ළඟ එන සිංහල අවුරුදු සාදවලටත් කහ කිරිල්ලියක සේ හැඩ වී යා හැකියි.

 

මේ සඳහා අවශ්‍ය මිමි

 

පපුව දක්වා උස අඟල් 9 1/2

ඉණ දක්වා උස අඟල් 14 1/2

බ්ලවුසයේ සම්පුර්ණ උස අඟල් 23

කිහිල්ල හරහා පපුවට අඟල් 34

පපුව වට අඟල් 36

ඉණ වට අඟල් 28

උරහිස අඟල් 14

අත දිග අඟල් 16

කර වට අඟල් 14

අත වට අඟල් 9

කිහිලිකට වට අඟල් 15

 

මිමි සැකසීම

 

උරහිස දෙකට බෙදා රෙදි කැබැල්ල නැම්මට තබා එහි ඉහළ කෙළවරේ ලකුණු කරන්න. උරහිස අඟල් 1 1/2ක් හැඩකර ඇඳගන්න.

උරහිස දෙකට බෙදා රෙදි කැබැල්ල නැම්මට තබා එහි ඉහළ කෙළවරේ ලකුණු කරන්න. උරහිස අඟල් 1 1/2ක් හැඩකර ඇඳගන්න. උරහිස මිම්ම එම රේඛාවේ කර අඳින කෙළවරේ සිට පහළ ලකුණුකර ආම්හෝල් රේඛාව ලකුණු කරන්න.

එම රේඛාවේ පපුවට හතරට බෙදා අඟල් 1ක් එකතුකර ලකුණු කරන්න. අඟල් 36 /4+1 = අඟල් 10

ඉණ වට හතරට බෙදා ඩාට් සඳහා අඟල් 1ක් එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න.

අඟල් 28/4 ඩාට් පළල + අඟල් 1/2= අඟල් 8 1/2

පපු පරතරය දෙකට බෙදා පසුව රේඛාවේ ලකුණුකර එය ඉණ රේඛාව දක්වා යාකර ඉණ රේඛාවේ ඩාට් පළල අඟල් 1ක් ලෙස ලකුණුකර ඩාට් එක ඇඳ ගන්න.

 

කර වට හතරෙන් බෙදා කරේ ඉදිරි මිම්ම ද ඉන් අඟල් 1ක් අඩු කරන්න. කරේ හරස් මිම්ම ද ඇඳ එම රේඛා දෙක යාකර වක්‍ර කර ඇඳ ගන්න.

 

කිහිලිකට ඇඳ ගැනීම

උරහිස කොණ සහ ආම්හෝල් අතර මැදින් අඟල් 1/2ක් අඩුකර කිහිලිකට වක්‍රකර ඇඳ ගන්න. අංශය හැඩකර ඇඳගන්න.

 

පිටුපස පළුව සඳහා ඉදිරිපස පළුවට වඩා පිටුපස පළුව අඟල් 1/2ක් අඩුවන සේ ගෙන පිටුපස කර අඟල් 1/2ක් පමණ ගන්න. පිටුපස පළුවේ ඩාට් එක ආම්හෝල් රේඛාව දක්වා දිගු කරන්න. පිටුපස ඩාට් එකේ පළල අඟල් 1ක් වනසේ ඩාට් එක ගන්න.

 

අත

අත දිග ලකුණු කරන්න. අත්කට වට හතරට බෙදා එන මිම්ම අත්කට සඳහා පහත් කරන ප්‍රමාණය ලෙස ලකුණු කරන්න. එම රේඛාවේ හරහට ආම්හෝල් දිග ලකුණු කරන්න. රැලි සඳහා අඟල් 1ක් සහ මැහුම් වාසි සඳහා අඟල් 1/2ක් එකතු කරගන්න.

 

මසා ගැනීම

ඉදිරිපස පළුව සහ පිටුපස පළුව එකට තබා උරහිස මුට්ටු කරන්න. අංශය මුට්ටු කරන්න. ඩාට් මසා ගන්න. කොළරය අල්ලා ගන්න. පිටුපසට සිපරයක් අල්ලා ගන්න.

 

ඉණ කොටසට ෆ්‍රිල් එක අල්ලා ගන්න. ඉණට බෙල්ට් එකක් අල්ලා ගන්න. දැන් කොළරය අල්ලා ගන්න. අවසානයට අත රැලිකර අල්ලා ගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ ඇඳුම් උපදේශිකා

නිශාන්ති රත්නායක