පන්ච් එම්බ්‍රොයිඩරි කී ටැග් එකක්

ජූලි 21, 2025

එම්බ්‍රොයිඩරි කලාවේ තවත් සාමාජිකයකු ලෙස අපට පන්ච් එම්බ්‍රොයිඩරි (Punch embroidery) කලාව හඳුන්වා දිය හැකියි. මෙම පන්ච් එම්බ්‍රොයිඩරි කලාවේදී මූලිකවම අපි Punch needle එකක් භාවිත කරන අතර මෙය සිදුකළ හැක්කේ එම නීඩ්ල් එක භාවිත කිරීමෙන් පමණි. මෙහි විශේෂත්වය නම් සියලුම නිර්මාණ එම්බ්‍රොයිඩරි කිරීමට ඇත්තේ එකම මැහුම් රටා ක්‍රමයකි. එමෙන්ම තවත් විශේෂත්වයක් නම් මෙම මැහුම් රටාව මැසීම සඳහා පන්ච් එම්බ්‍රොයිඩරි ඉදිකටුව පමණක් භාවිත කළ යුතු වේ.

 

එසේම මෙය ඉතා ආකර්ෂණීය මැස්මක් වන අතර බැලූ බැල්මට ඉතා ලෙහෙසියෙන් මැසිය හැකි මැස්මක් ලෙස ද පෙනේ.

 

එමෙන්ම මෙහිදී ඉතා සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ මැසීම සඳහා රෙදි තෝරා ගැනීමේදී අදාළ රෙදි පමණක් තෝරා ගත යුතු වීමයි. එමෙන්ම නිවැරදි ඉදිකටුවට අදාළ නූල තෝරා ගැනීම ද ඉතා වැදගත් වේ. නූල් වර්ග තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ ඉදිකටුවේ සිදුරට ලිහිල් ලෙස දැමිය හැකි නූල් වර්ග තෝරා ගැනීමටයි. අපි ඉදිරියේදී මැස්ම ගැන සාකච්ඡා කරන විට මේ ගැන වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරනු ඇත.

 

එමෙන්ම මෙම පන්ච් එම්බ්‍රොයිඩරි කලාව මඟින් අපට

 

බෑග්

කී ටැග්

කුෂන් කවර

ඇඳුම් අලංකරණය

බිත්ති සැරසිලි නිර්මාණය

 

යනාදී වශයෙන් තවත් නොයෙකුත් දේ නිර්මාණය කරගත හැකියි.

 

තවද මෙම පන්ච් එම්බ්‍රොයිඩරිවලින් කරනලද නිර්මාණ අතට ඉතාමත් මෘදු (Soft) ලෙස අපට අල්වා බැලිය හැකියි.

 

මේ දවස්වල අත්කම් නිර්මාණ ක්ෂේත්‍රයේ ගොඩක් ජනප්‍රිය කලාවක් තමා පන්ච් එම්බ්‍රොයිඩර් කියන්නේ. මේ වෙද්දි ගොඩක් දෙනෙක් මේ සඳහා යොමු වෙලා ති‍ෙයනවා.අත්කම් නිර්මාණවලට ඇලුම් කරන වගේම ස්වයං රැකියාවක් විදිහට ආරම්භ කරන්නත් මේක හොඳ අදහසක්.

 

අපි අද පන්ච් එම්බ්‍රොයිඩරි ක්‍රමයට කී ටැග් එකක් සකස් කරන විදිහ බලමු.

 

 

අවශ්‍ය අමුද්‍රව්‍ය:-

 

පන්ච් නීඩ්ල් එකක්

ලිනන් කෑල්ලක්/අමු රෙද්දක්

වූල් එකක්

ෆැබ්රික් ගම්(fabric glue)

එම්බ්‍රොයිඩර් රාමුවක්

කී ටැග් රඳවනයක්(key tag ring)

පන්ච් එම්බ්‍රොයිඩරි ඉදිකටුවක්

 

නිර්මාණය සාදන ආකාරය:-

 

1. මුලින්ම අමු රෙද්ද හෝ ලිනන් එක හොඳින් රාමුවට තද වන ආකාරයට සකස් කරගන්න.

 

2. පන්ච් නීඩ්ල් එකේ උස වැඩිම කරගන්න.

 

3. ත්‍රෙඩර් (Threader)එක භාවිත කර ඉදිකටුවට නූල දමා ගන්න.

 

4. රෙදි කැබැල්ල මත ඔබට අවශ්‍ය මෝස්තරය (Heart shape) එක ඇඳගන්න.(කොටස් දෙකක් ඇඳගන්න.)

 

5. මසා අවසන් කළ පසු ලූප් ටික එම්බ්‍රොයිඩරි කතුරෙන් කපාගන්න.

 

6. ඇඳගත් මෝස්තරයේ හැඩය (heart shape) නිවැරදිව මතුවන ආකාරයට එම්බ්‍රොයිඩරි කතුරෙන් හැඩය සකස් කරගන්න.

 

7. නිර්මාණයේ පිටුපසට ෆැබ්රික් ගම් හොඳින් යොදා ගන්න.

 

8. කී ටැග් රඳවනය (key tag ring) එක සම්බන්ධ කර ගන්න.

 

9. මසා ගත් කොටස් දෙක ගම් එකක් භාවිතයෙන් (glue gun) එක භාවිතයෙන් එකට සම්බන්ධ කරගන්න.

 

 

උපදෙස්:- අත්කම්

නිර්මාණ ශිල්පිනි

තරුෂි අත්තනායක

 

 

pix by -ශාන් රඹුක්වැල්ල