ඇය යන්න ගියා මැකිලා...

ජීවිතයේ දුෂ්කරම අභියෝගයට සිනහවෙන් මුහුණ දී යන්නම ගිය චතූ මුණසිංහ
ඔක්තෝබර් 27, 2021

ඇය යන්න ගියා මැකිලා...

වන සිරසක තුරු සෙවණැලි අතරේ

ගී ගයමින් හිඳ මා තුරුලේ

ඇය යන්න ගියා මැකිලා...

පිනි කඳුළක් මල් පෙති අග තවරා

මිහිදුම් සළුවෙන් මුහුණ වසා

යළි කවදාවත් හමු නොවනා බව

මඳ පවනත් හිස අතගා කීවද

අදහාගන්නට නොහැකිය කිසිදින

ඇය යළි නොඑතැයි

ගිම්හානෙට පෙර...

ගැහැනිය මලක් මෙන් සුන්දරය. සුකොමළය. බැලූ බැල්මට ඇය බෙහෙවින්ම සියුමැලිය.

නමුත් ඒ සියුමැලි පෙනුම යට සැඟවුණු ඇයගේ ආත්ම විශ්වාසය, මානසික ශක්තිය පුදුමාකරය. දියණියක, බිරියක, මවක, මිත්තණියක වෙමින් ජීවිතයේ භූමිකාවන් කිහිපයකටම පණ පොවනා ඕ මේ විවිධ භූමිකා හමුවේ ක්‍රියාකරන ආකාරය සැබවින්ම පුදුමාකාරය. ජීවිතයේ කටුක අත්දැකීම් හමුවේ හඬා වැටෙමින් වුව අපූරුවට සිනාසලන ගැහැනුන් අපට හමු වී තිබේ. විවිධ

අභියෝගයන්ට ඉතාමත් සාර්ථකව මුහුණ දුන් එවන් අපූරු කාන්තාවන් බොහොමයක් ගැන අපි ඔබට අකුරු කළෙමු.

"ජීවිතය ලබාදුන් දුෂ්කරම අභියෝගයට ද සිනාමුසු මුහුණින් මුහුණදුන් උදාරි චතුරිකා මුණසිංහ එහෙමත් නැතිනම් බොහෝ දෙනකු දන්නා හඳුනන චතූ මුණසිංහ ගැන මා තරුණී පුවත්පතට තැබූ සටහනේ ආරම්භයයි ඒ.අතිශය වේදනාකාරී කිමෝ ප්‍රතිකාරයන් අතරතුර තමන්ගේ වේදනාව මොහොතකට අමතක කරමින් අප පුවත්පත වෙනුවෙන් දොඩමලු වූ ඇයගේ සොඳුරු කතාබහ මේ මොහොතේ වුවද ඇසෙන්නා සේ මට දැනෙයි.

ඊටත් පසුවද තවත් කිහිප අවස්ථාවකම

අප දෙදෙනා සැපදුක බෙදා ගතිමු. ඒ ද දුරකථනය හරහා පමණි. මේ කොරෝනා වසංගතය තරමක් අඩු වූ පසුව අපි අනිවාර්යයෙන්ම මුණගැසෙන්නට, නිදහසේ කෑම වේලක රස බලන්නට ගිවිසගෙන සිටියෙමු. නමුත් ඒ පොරොන්දුව ඉටු නොකරම ඕ යන්න ගියාය. තම ජීවිතයටත් වඩා පෙම් කළ ආදරණීය අර්ජුන සේම ප්‍රාණ සම දියණියන් දෙදෙනා ද මෙලොව තනිකර දමා ඈ යන්නම යන්න ගොසිණි. නමුත් ජීවිතයේ අගිස්සේ සිට වුවද හීනවලට

පණ පෙවිය හැකි බවත්, මරණයට වුව සිනාසෙමින් මුහුණ දිය හැකි බවත් අපේ සමස්ත කාන්තා පරපුරටම හඬගා කියමිනි.

චතූ ජීවිතයෙන් සමුගන්නේ වයස අවුරුදු 34 දී අග්න්‍යාශය ආශ්‍රිතව ඇති වූ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි. ඒ රෝගී තත්ත්වය ගැන ඇය එදා අපට පැවසුවේ ඒ පිළිබඳ මනා අවබෝධයෙන්.

"මට තියෙන්නෙ දරුණු වර්ගයේ පිළිකාවක්. ඒක ගැන මම දැනගන්නකොටත් අග්න්‍යාශයෙන් පටන් අරන් අක්මාව දක්වා පැතිරිලාත් ඉවරයි. ඉතින් ශල්‍යකර්මයකටවත් මුහුණ දෙන්න ඉඩක් ඉතිරිවෙලා නෑ. මේ විදිහට කිමෝ ප්‍රතිකාර හරහා වේදනාව අවම

කරන්න විතරයි පුළුවන්. මේ යථාර්ථය මම හොඳින් තේරුම් අරගෙන ජීවිතයට මුහුණ දෙනවා."

ඒ වාගේම ඇය පැවසුවේ අසනීපය හමුවේ හඬා වැටෙමින් දුකසේ කාලය ගත කළහොත් තම සමීපතමයන්ට ඉතිරි වන්නේ ද දුක්බර කාල පරිච්ඡේදයක මතක සටහන් පමණක් බවකි.

 

"මට දුක නැත්තෙ නෑ. අම්මෙක්, ගැහැනියක් විදිහට හරිම දුකයි. මොකද තාම මගේ ජීවිතය විඳින්න පටන් ගත්තා විතරමයි. මගේ දුවලගෙ ජීවිතයේ ලස්සනම දවස් දකින්න මම නෑ කියලා හිතනකොට හරි දුකයි. මම නැතිව එයාලට උදවු කරන්නෙ කවුද? අපි හතරදෙනා එකට එකතුවෙලා කරන්න හිතපු දේවල් මේවා මට මැවි මැවි පේන්න පටන් ගත්තා. ඒත් මම හිතුවා ඇයි මම මගේ දරුවන්ට, හස්බන්ඩ්ට දුක්බර මතකයක් විතරක් ඉතුරු කරන්නෙ. මම නැතත්.... අපි එකට යන්න හිටපු ගමන එයාලට යන්න මඟ හදන්න ඕනේ කියලා.

ඉතින් රෝගී තත්ත්වය, මරණය කියන එක නොහිතා මම පැත්තකින් තිබ්බා. අද දවසේ සතුටින් ජීවත් වෙනවා. දරුවෝ, හස්බන්ඩ් එක්ක සතුටින් ඉන්නවා. එයාලා එක්කම කාලය ගත කරනවා. අපි උයනවා, පිහනවා, සිංදු කියනවා, හිනා වෙනවා, සෙල්ලම් කරනවා. දියණියන් දෙදෙනා එක්ක ගත කරන මේ නිවෙස ඇතුළේ දිව්‍ය ලෝකයක් වගෙයි. කවදා හරි මම නැතිදාට ඒ සතුටු මතකයන් එයාලට තියෙනවානේ."

එපමණක් නොව මරණයට අභියෝග කළ ඇය තම අත්දැකීම් මෙරට සුවහසක් කාන්තාවන් සමඟ බෙදාහදා ගන්නටත් අමතක කළේ නැහැ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ තම අපහසුතා සේම චිත්ත ධෛර්යයෙන් ඒවාට මුහුණදෙන

ආකාරය ද පැවසුවේ සිනාවන් මුවඟ රඳවාගෙනමයි.

 

"අපේ ගොඩක් කාන්තාවන් ලෙඩක් දුකක්,‍ කරදරයක් වුණහම හැමතිස්සෙම කරන්නේ අඬාවැටෙන එක. ඊට පස්සෙ මානසිකව ඇද වැටිලා මුළුගැන්වෙන එක. එහෙම වෙන්න එපා. හැමදේම දරාගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. කාන්තා අපි හිතනවාට වඩා මනසින් හරිම ශක්තිමත්. හිතුවොත් ඕනෙම දෙයක් කරන්න පුළුවනි."

සැබැවින්ම ඇය අපේ රටේ සමස්ත කාන්තා පරපුරටම ලබා දුන්නේ මොන තරම්

නම් ධනාත්මක උපදෙසක් ද?

චතූ තම දියණියන් දෙදෙනාට බොහෝ සේ ආදරය කළාය. ඔවුන් පිළිබඳ ආඩම්බර වූවාය.

 

"අම්මෙක් වුණහම තමන්ගෙ දරුවන්ට සීමා විරහිතව ආදරය කරන්න ඕනේ. අම්මාගේ ආදරය දරුවන්ට දැනෙන්න ඕනේ. ඒවාගේම දරුවන්ව විශ්වාස කරන්න ඕනේ. මොකද දරුවෝ මේ ලෝකෙට එන්නෙ අපේ වුවමනාවට මිස එයාලට ඕනේ නිසා නෙමෙයි. ඉතින් ඒ හින්දා දරුවන්ගෙ ජීවිතය ගැන බලන්න, ඒක සුවදායී ජීවිතයක් කරන්න ඕනෙත් අපිමයි. අපිට දරුවන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑනේ. දරු පැටවුන්ගෙ සිත් මල් වාගේ හරිම පිරිසුදුයි. පොඩ්ඩක්වත් කුණු කිළිටි නෑ. ඒ හිත් අපිරිසුදු කරන්නෙ වැඩිහිටියෝ. මම මෙහෙම කියන්නෙ පුංචි කාලෙදි මම ලබපු අසුන්දර අත්දැකීම්

බොහොමයක් නිසා."

ඒ පිළිබඳ බොහෝ දුක්බර මතක රැසක් ඇය අපට පැවසුවාය. අම්මා කියන ඒ උත්තම භූමිකාව මොන තරම් නම් පිවිතුරුව, ආදරණීයව දරුවන් සමඟ බෙදාගත යුතු වුවත් එසේ නොවන අම්මලා ද ඇති බව ඇය පැවසුවේ කඳුළු සලමිනි. කෙදිනක හෝ අපේ මව්වරුන් වෙනුවෙන් ඒවා ගැන ලියන්නට ද ඇය බලාපොරොත්තුව සිටියාය. නමුත් ඒ සියල්ල ඉතිරිව තිබියදී ලෝක ධර්මතාවයට ඉඩදී ඇය යන්නට ගියාය. එබැවින් ඒ සියලු කතාබහ මතකයන් අතරටම පමණක් සීමා කරන්නට මට ද සිදුවේ.

ඒවා අකුරු කළහොත් ඇගේ ජීවිතය නිදහසේ ගලා යන්නට ඉඩ නොදුන් කිහිප දෙනකු ගැනම කියන්නට සිදුවෙයි. එසේ වුවහොත් එය ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බරපතළ ලෙස බලපෑම් කරනු නිසැකය. ඒවා නිවැරැදි නොවන බවට ඔවුන් තර්ක කරනු ඇත. එහෙත් ඒ පිළිබඳව ජීවමාන සාක්ෂිය වූ චතූ අද ජීවතුන් අතර නැති නිසා ඒ පිළිබඳව හෙළි නොකරමි.

සිය ආදරණීය සැමියා අර්ජුන මුණසිංහට චතූ පුදුමාකාර විදිහට ආදරය කළාය. ඇය සැමවිටම අර්ජුන ගැන පැවසුවේ මෙලෙසිනි.

"අර්ජුන කියන්නෙ ගැහැනියක් ආත්ම ගණනක් ප්‍රාර්ථනා කරලා ලබාගන්න ඕනේ පිරිමියෙක්. එයා නාවික ඉංජිනේරුවෙක් වුණත් මම සහ

දරුවෝ එක්ක නිතරම රැඳෙන්න ඕනේ නිසා රැකියාවට සමු දීලා ව්‍යාපාරිකයෙක් වුණා. මාව නිවැරැදිව තේරුම් ගත්තු, මගේ ජිවිතය සතුටින් පුරවාපු හොඳ සැමියෙක්. වැඩියේ කතා කරන්නෙ නැති ලජ්ජාශීලී කෙනෙක් වුණාට අර්ජුන් මේ වෙලාවේ මට මාර හයියක්. අර්ජුන් විතරක් නෙමෙයි එයාගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ හරිම ආදරණීයයි. මම වෙනුවෙන් හරියට කැප වෙනවා. ඉතින් ඒවාගේ ආදරණීයයන් රැසක් මට සමීප කෙරුවට මම දෙවියන් වහන්සේට ස්තූති

කරනවා."

ඉතින් ආදරණීය අර්ජුන, දියණියන්, නෑදෑ හිතවතුන් සේම මෙරටේ බොහෝ දෙනකු ඇයට බෙහෙවින් ආදරය කළ බව රහසක් නොවේ.

නිරතුරුවම ඇයට නිදුක් නිරෝගී සුවය පැතූහ. මරණයට අභියෝග කළ ඒ ධෛර්යය පිළිබඳ බෙහෙවින් සතුටු වූහ. ඒ සියලු කිත් පැසසුම්, ආදරය සේම ජීවිතය ද තාවකාලික නවාතැනක් බව පසක් කරමින් ඇය දැන් සමුගෙන අහවරය.

නමුත් තම අසනීපය හමුවේ ඇය පෙන්වූ අසීමිත මානසික ශක්තිය, තව බොහෝ කාලයක් මෙරට මිනිසුන්ට සිය ජීවිතවල වැටීම් හමුවේ නැඟී සිටින්නට ධෛර්යය සපයාවි.

ඉතින් ආදරණීය චතූ ඔයාට සුබ ගමන්!