ජන ගීයෙන් ෆින්ලන්තය හොල්ලපු ලංකාවේ කෙල්ල

පෙබරවාරි 10, 2025

The Voice of Finland වැඩසටහනේ 'මාමිනි මා දෙයියා' ගීතය ගයා එක රැයින් මුළු ලෝකයේම අවධානය දිනාගත් ශ්‍රී ලාංකික තරුණිය උපේන්ද්‍රා සිරිවර්ධන ගැන දැන් නොදන්න කෙනෙක් නැහැ.

එම වැඩසටහනේ Blind Audition අදියරේදී විනිසුරුවරුන් සිව්දෙනාගේ ම කැමැත්ත ලබා ගනිමින් ඔවුන්ගේ අගැයීමට ලක්වීම විශේෂත්වයක්. ඇයගේ ගායනය ඇතුළත් වීඩියෝව පැය 24ක් ඇතුළත මිලියනය ඉක්මවා තිබුණා. වසර 14ක් පුරා පැවැත්වෙන Voice of Finland වැඩසටහනේ වාර්තාවක් පිහිටුවීමට උපේන්ද්‍රාට පළමු වටයේදී ම හැකිවීම විශේෂත්වයක්. ඉතින් ශ්‍රී ලංකාවේ නාමය ලෝකය ඉදිරියට ගෙන ගිය ඇගේ කතාවයි මේ.

"මේක මම විතරක් නොවේ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ම ලබපු ජයග්‍රහණයක් කියල යි මට හිතෙන්නේ. මොකද ඒ රටේ සංගීතඥයෝ ශ්‍රී ලංකාවේ ජන සංගීත ශෛලිය ගැන දැන ගත්තා ඒ හරහා.

ඒ වගේ ම ඔවුන් ඒ සංගීත ශෛලිය ගොඩක් අගය කළා. ඒ ගැන මට ගොඩක් සතුටු යි,”

උපේන්ද්‍රා කොහොමද මේ වැඩසටහනට සහභාගී වුණේ?

 

මට හැමදාම හීනයක් තිබුණා ගායනයෙන් ජාත්‍යන්තරය ජය ගන්න. ඉතිං මම ඒ හීනේ මගේ මනස තුළ තියාගෙන, මට පුළුවන් හැමදේටම උත්සාහ කළා. මම 2023 වර්ෂයේ ෆින්ලන්තයට ආවට පස්සෙත් මගේ ඒ හීනය අත හැරියේ නෑ. පසුව මම The Voice of Finland 14 වැනි තරගාවලියට සම්බන්ධ වුණා. මේ ගමන යන්න මට ගොඩක් අය උදව් කළා. විශේෂයෙන්ම මගේ ආදරණීය සැමියා දේශාන් ගමගේ මතක් කරන්නම ඕනේ.

ඒ වගේම මම 2021 වසරේ දී The Voice Sri Lanka ප්‍රථම වැඩසටහනට සහභාගි වී එහි s Live Rounds වටය දක්වා ගමන් කළා. පසුව 2022 වසරේ දී The Voice teens Sri Lanka තරගාවලියේ Blind Audition තරග වටයේ හඬ පුහුණුකරුවෙකු වශයෙන් සේවය කරන්නටත් මට අවස්ථාව ලැබුණා.

 

ශ්‍රී ලංකාව අත හැරලා ෆින්ලන්තයේ පදිංචියට යන්න හිතුවේ ඇයි?

ෆින්ලන්තයේ කොව්වොලා (Kouvola) කියන ලස්සන නගරයේ තමයි අපි පදිංචි වෙලා ඉන්නේ. ඉපදුණේ සහ හැදී වැඩුණේ මොනරාගල. මම සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගියේ මොනරාගල රාජකීය ජාතික පාසලට. උසස් පෙළ හැදෑරුවේ මොනරාගල මහානාම ජාතික පාසලේ. මගේ සැමියාගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා තමයි අපි විදේශගත වුණේ.

 

ඔබ වෘත්තියෙන් ගුරුවරියක්?

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත අංශයෙන් ප්‍රාසාංගික කලාවේදී විශේෂ උපාධිය ලබාගත් පසුව 2018 සිට 2019 දක්වා ඇතිමලේ මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළා. පසුව මග්ගොන ශාන්ත මරියා විදුහලේ සංගීත ආචාර්යවරියක් ලෙස සේවය කළා. 2023 ජූලි දක්වා සේවයේ නිරත වෙලා විදෙස්ගත වීම සඳහා රැකියාවෙන් ඉවත් වුණා. මම මේ වන විට ෆින්ලන්ත භාෂා පාසලක ෆින්ලන්ත භාෂාව ඉගෙන ගනිමින් ඉන්නවා. ඊට අමතරව මම මෙරට ප්‍රාදේශීය සංස්කෘතික ආයතනයකට අනුබද්ධව වැඩ කටයුතු කරනවා.

 

පවුලේ විස්තරත් කතා කරමු..

මගේ පියා ෂියන් සිරිවර්ධන. ඔහු ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාර කටයුතු සමගින් ම ඔහු සංගීත කලායතනයක් සහ ඔහුගේම පෞද්ගලික සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. මගේ මව පුෂ්පා කුමාරි. ඇය ගෘහිණියක්. මට සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයෙක් ඉන්නවා. අපි හැමෝම හරි සතුටින් ඉන්නේ. පවුලේ අය, මගේ සැමියා සහ සැමියාගේ පවුලේ අය මේ හැමෝම මට උදව් කරනවා.