ආශාවේ අනන්තය පෙන්වන යක්ෂයාගේ අවන්හල

පෙබරවාරි 10, 2025

ඔබේ අවිඥානික ආශාවේ අන්තය මොන වගේද කියලා ඇහුවොත් ඒකට සෘජු උත්තරයක් දෙන්න අමාරු වෙයි. මොකද ඒ ආශාව කුළු ගන්වන දෙයක් වෙනතුරු යටි හිතේ නිදාගෙන ඉන්න නිසා. මෙන්න මේ නොකියන ආශාවේ අන්තය මොන වගේද පෙන්නන නෙට්ෆ්ලික්ස් කතා මාලාවක් තියෙනවා. මෙහි මුල් නම 'ටියම් ඇන් කෝ ක්වොයි'. ඉංග්‍රීසියෙන් 'ඩෙවිල්ස් ඩයිනර්'. වියට්නාම භාෂාවෙන් නෙට්ෆි ල්ක්ස් නාළිකාව ප්‍රදර්ශනය කරන පළවෙනි භීෂණාත්මක කතා මාලාව.

මෙහි, ගිජු බව, උඩඟුකම, ෙක්‍රා්ධය, සැකය සහ මුළාව අතරේ දෝලනය වෙන එපිසෝඩ් හයක් තියෙනවා. බෞද්ධාගමික වටපිටාවක් තියෙන අපිට 'ඩෙවිල්ස් ඩයිනර්' සුළු ඉලක්ට්‍රෝනික් ෂොක් එකක් දෙනවා. හැම එපිසෝඩ් එකකින්ම එක මනුස්සයකුගේ ආශාවේ අන්තය පෙන්නනවා. ඒ ආශාව අනුව අවන්හලේ කෝකියා කෑම හදනවා. එක එපිසෝඩයක, තනි මවක් තමන්ගේ පුතාව හදාවඩාගෙන ගෙවන ජීවිතේ තියෙනවා. නමුත් මේ අම්මාට තියෙන්නෙ විෂ සහිත දිවක්. ඇගේ වචන හරියට සර්ප විස වගෙයි. මේ නපුරත් එක්ක ජීවත් වෙන පුරුෂයාගේ ජීවිතය දුක්බරයි. තමන් වාචික අපයෝජනයකට ලක්වෙන බවවත් පුත්‍රයා දන්නෙ නෑ. ඔහුගේ පෙම්වතිය ගැන මව කියන විස සහිත කතාවකින් ඈ ඔහුව අතෑරලා දානවා. පුත්‍රයා තමන්ගේ ශෝකයත්, කෝපයත් අරගෙන යන්නෙ 'ඩෙවිල්ස් ඩයිනර්' වෙත.

මෙහි පින්-පව් ගැන හිතන්න බල කරන අපේ ජීවිතයත්, එහි ඝට්ටනත් අපූරුවට පෙන්වනවා. අපේ ජීවිත බාධකය ගැන අවන්හල් හිමියා ටක්කෙටම කියන්න දන්නවා. මොකද ඔහු ඉන්නෙ මේ විෂ සහිත ආත්ම එකතු කරන ක්‍රියාවලියක. කර්මය ප්‍රශ්න කරමින් එය මිනිහෙක්ව ගෙනියන තැන

ගැනත් මේ කතා මාලාව ඉතාම සූක්ෂ්මව පෙන්වනවා. "අම්මාගේ කට වැහුණා නම් හොඳයි නේද?"

කියමින් පටන් ගන්න සංවාදය එළුවෙකුගේ දිවක් කැපීම තෙක් දිග්ගැස්සෙනවා. මේ එළු දිව විසිතුරුව සකසපු ආහාරයක් විදිහට පුත්‍රයාට කන්න ලැබෙනවා. ඔහු එළුවාගෙ දිව කපාගෙන කන හැම වාරයකම අම්මාගේ දිවෙන් කෑල්ලක් කැපෙනවා. අවසානයේ ඈට මුළුමනින්ම කතා කරන්න බැරි වෙනවා.

අම්මාගේ අතීත කතාවත් එක්ක ගළපලා පෙන්වන තැනදි බෞද්ධාගමික කතාන්දරවල වගේ අවසානයේ අපිට ඉතිරි කරන්නෙ පව්-පින් සහ කර්මය ගැන අපහැදිලි අන්තයක්. ඒ වගේම මොනතරම් හොඳ මවක් වුණත් ඇගේ විස සහිත වචන විසින් සෙසු අයට මොන තරම් හානියක් කරනවද කියන එකත් හෙළිවෙනවා. සමකාමී තරුණයෝ දෙදෙනෙකු ගැනත්, ප්‍රේමයෙන් පරාජිත පෙම්වතුන් යුවළක් ගැනත්, දරුවන් නැතිකමන් පීඩාවිඳින යුවළක් ගැනත්, මවක් අහිමි වෙන කුඩා දරුවෙකුගේ වර්තමාන කතාවත් එක්ක 'ඩෙවිල්ස් ඩයිනර්', කියන්න උත්සාහ කරන ධර්මතාව බොහෝම ආගමික එකක්.

ඉරණම, පව්-පින්, කර්මය සහ මෙලොව-පරලොව ගැන තියෙන සංකල්පීය අදහස් අපිව මොහොතකට කළඹවනවා. භීෂණාත්මක කැටගරියෙ කතා මාලාවකින් ඒ කියන තරමේ බියක් නොදැනීම වෙනත් කාරණයක්. සිතීමේ අවකාශය පුළුල් කරන දේ ගැන මගේ උනන්දුව අන්න එහෙමයි. ඔබේ උනන්දුව කුමනාකාරද?