ගහකොළ ඇඳ ලෝකය දිනූ තිස්සේ සඳුන්මලී

ගහකොළ ඇඳ ලෝකය දිනූ තිස්සේ සඳුන්මලී
මාර්තු 3, 2025

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ගැන මුළු ලෝකයම කතා කරන බව නොරහසකි. ඒතරමටම ස්වභාව සෞන්දර්යයෙන් අනූන අපේ රටේ උද්භිද විද්‍යා ශාක සිතුවමට නඟා, ලෝකයේම චිත්‍ර ශිල්පීන් අතරින් රන් පදක්කමක් දිනාගැනීමට සමත් වුයේ තිස්සමහාරාමයේ සඳුන්මලී කුලසේකර සමත් වූවා. ඒ ලන්ඩනයේ රාජකීය උද්භිද උද්‍යාන අලංකරණ සංගමය විසින් සංවිධානය කරන උද්භිද විද්‍යා ප්‍රතිනිර්මාණ සිතුවම් තරගයෙන්.

 

ශ්‍රී ලංකා ඉතිහාසයේ උද්භිද විද්‍යා චිත්‍ර තරගයකින් පදක්කමක් දිනූ එකම ශ්‍රී ලාංකිකයා ඇයයි. එය රන් පදක්කමක් නිසා මෙම ජයග්‍රහණය තවත් සුවිශේෂ කරවයි.මේ කතාබහ කටාර් රාජ්‍යයේ ජීවත් වන තිස්සමහාරාමයේ සඳුන්මලී සමඟය.

මගේ උපන් ගම තිස්සමහාරාමය. මම මුලින්ම ඉස්කෝලේ ගියේ තිස්සමහාරාම ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලයට. ඊට පස්සේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරුවා. උසස් පෙළට මම තෝරගත්තේ ජීව විද්‍යාව. ඒ නිසා කොළඹ විශ්වවිද්‍යාලයෙන් පටක රෝපණ තාක්ෂණවේදී පාඨමාලාව හදාරන්න මට පුළුවන් වුණා. ඉන්පසුවයි මම කටාර් රාජ්‍යයට ගියේ. දැන් අවුරුදු 18ක් වෙනවා කටාර් ඇවිල්ලා. උද්භිද ශාක ප්‍රතිනිර්මාණය සහ සිතුවම්කරණය සම්බන්ධ රැකියාවක නිරතව ඉන්න ගමන් තමයි මම මේ තරගයට ඉදිරිපත් වුණේ. මම ශ්‍රී ලංකාව නියෝජනය කරලයි ඒකට සහභාගි වුණේ. ඒ තරගයෙන් මට රන් පදක්කමක් ගේන්න පුළුවන් වුණා. ඒක මට ලොකු සතුටක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් මම දෙයක් කළා කියන හැඟීම මට දැන් දැනෙනවා.

 

මේ තරගය පැවැත්වුණේ කොහොමද?

මේ තරගය වසරක් පාසා රටවල් බොහෝ ප්‍රමාණයක් එකතු කරගෙන ලන්ඩනයේදී පැවැත්වෙනවා. ලන්ඩනයේ රාජකීය උද්භිද උද්‍යාන අලංකරණ සංගමය විසින් සංවිධානය කරන මේ උද්භිද විද්‍යා ප්‍රතිනිර්මාණ සිතුවම් තරගය පැවැත්වුණේ ලන්ඩන් සාචි ගැලරි සම්මන්ත්‍රණ ශාලාවේදී.

යුරෝපය, ආසියාව, සිංගප්පූරුව, අමෙරිකාව වගේ රටවල් 80ක් මේ තරගයට සහභාගි වෙනවා. ඒකෙන් තෝරාගැනීම් කරලා කිහිප දෙනෙක්ට විතරයි අවසන් වටය සඳහා අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ එක් එක් රටවලින් විවිධ නිර්මාණ ඉදිරිපත් කරලා තිබුණා. විශේෂම දේ අපිට කැමැති කැමැති විදිහට නිර්මාණ ඉදිරිපත් කරන්න බැහැ. ඔවුන් ඉදිරිපත් කරන කාණ්ඩවලට අනුකූලවට තමයි නිර්මාණ ඉදිරිපත් කරන්න ඕනේ. වඳ වෙලා යන ශාක වර්ග සහ දේශීය ශාක වර්ග ගැන එයාලා වැඩි උනන්දුවක් දක්වනවා. මගේ සිතුවම් 06ක් ඔවුන් තෝරා ගත්තා.

මේ තරගය සඳහා මම කාන්තාරේ තියෙන ඖෂධීය ශාක සිතුවම් කළා. මේ සිතුවම් සඳහා පෑන් සහ තීන්ත තමයි මාධ්‍ය විදිහට යොදා ගත්තේ. සියලුම සිතුවම් ඉන්ක් වර්ක් එකකින් කරලා තියෙන්නේ.

 

ඒ වගේම ඔබ වෘත්තියෙන් කටාර් රාජ්‍යෙයේ උද්භිද ශාක ප්‍රතිනිර්මාණ සිතුවම් නිර්මාණ ශිල්පිනියක්...

 

මගේ වෘත්තියත් ඒ සම්බන්ධ එකක් නිසයි මේ තරගය සඳහා යොමු වෙන්නත් අවස්ථාව ලැබුණේ. මගේ වෘත්තියේදී මම කරන්නේ වෙනත් රටවල කෞතුකාගාර එකතූන් සඳහා වඳ වී යන ශාක සහ ඖෂධිය ශාක ඇතුළු විශේෂිත ශාක සිතුවම් කිරීම. මම නිවෙසේ ඉඳලා ඔන්ලයින් හරහා තමයි මේ කටයුතු කරන්නේ. මම ඇඳපු සිතුවම් ලෝකයේ බොහෝ රටවල මහජන ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මේ තරග ජයග්‍රහණයෙන් පසුව එංගලන්තයේ රාජකීය උද්‍යානයේ මගේ සිතුවම් මහජන ප්‍රදර්ශනයට තියන්න අවස්ථාව ලැබුණා. එය ඔවුන් නම් කරලා තියෙන්නේ රන් පදක්කම්ලාභී පළමු ශ්‍රී ලාංකික කාන්තාව සහ ඉතිහාසයේ පළමු ඖෂධීය කාන්තාර ශාක නිදර්ශන එකතුව විදිහට. ඒ වගේම මා විසින් එංගලන්තයේ එඩින්බරෝ රාජකීය උද්භිද උද්‍යාන කෞතුකාගාරය වොටර් කලර් සිතුවම්, මාග්‍රට් ෆ්ලොක්ටන් සම්මානය හරහා සිඩ්නි රාජකීය උද්භිද උද්‍යානයේ පෑන් සහ තීන්ත යොදා ගත් සිතුවම් එකතුවක්, සිංගප්පූරු රාජකීය උද්භිද උද්‍යානයේ වෝටර් කලර් සිතුවම්, වියට්නාම උද්භිද උද්‍යානයෙත් වෝටර් කලර් සිතුවම් එකතුවක් ද තියෙනවා. ශාක සංරක්ෂණය කරන මාධ්‍යයක් විදිහට තමයි එයාලා මේ සිතුවම් කලාව යොදා ගන්නේ.

 

චිත්‍ර ඇඳීමේ හැකියාව ලැබුණේ කොහොම ද?

 

මට හිතෙනවා චිත්‍ර අඳින්න හැකියාව ලැබුණේ තාත්තාගෙන් කියලා. මොකද තාත්තා ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. ඔහු සෝමපාල කුලසේකර. කුඩා කාලයේ ඉඳලම මම දැක්කේ තාත්තා චිත්‍ර අඳිනවා. ඒ ආභාෂයත් මට ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඒ ලැබුණු හැකියාව මම තව වැඩිදියුණු කර ගැනීමක් කරගෙනයි මේ තැනට ආවේ. මගේ පවුලේ ඔක්කොම හය දෙනෙක් ඉන්නවා. නංගිලා තුන් දෙනයි. මමයි මල්ලිලා දෙන්නයි. ඒ හැමෝම උගත් වගේම කලාවට දක්ෂ අය.

 

ඒ ආපු ගමන්මඟ ගැන කතා කළොත්?

 

මම කටාර් ඇවිත් කළේ ඉගෙන ගත්ත එක්ක. කටාර්වලදී එංගලන්තයේ මේ සම්බන්ධ පාඨමාලාවලට සම්බන්ධ වෙලා මම වැඩිදුරටත් ඉගෙන ගත්්තා. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවේදි ස්වාභාවික ඉතිහාසය ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා. අමෙරිකානු ගුරවරයෙක් වන ඩැනී සදර්ලන්ඩ් බෝල්ගෙන් මම මේ විෂය ගැන වැඩිදුරටත් ඉගෙන ගත්තා. මගේ සැමියා ඉන්දුල සිරිවිකුම්. ඔහු ප්‍රමාණ සමීක්ෂණ ඉන්ජිනේරුවරයෙක් විදිහට වැඩ කරනවා. ඒවගේම මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිදාරියෙක්. දුව සෙනුති සිරිවිකුම්. සැමියත් සැමියාගේ පවුලේ අය වගේම මගේ පවුලේ අයත් මේ ගමන එන්න ගොඩක් උදව් කළා.

 

මේ ජයග්‍රහණයත් එක්ක ඉදිරියේදි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනව ද?

 

ශ්‍රී ලංකාවේ පරිසරය හොඳයි. ශාක සහ සත්ත්ව ගහනය වැඩියි. එහෙම තියෙද්දි ඇයි ඒවා සංරක්ෂණය කරන්නේ නැත්තේ කියලා මේ රටේ හැමෝම මගෙන් අහනවා. ඉතින් ඒකට ක්‍රමවේදයක් සැකසෙනවා නම් හරි වටිනවා. දරුවන්ට පුංචි කාලේ ඉඳලම අදහසක් දෙන්න ඕනේ ජෛව විවිධත්වයේ තියෙන වටිනාකම සහ ඇයි අපි ඒ දේවල් රැකගත යුත්තේ කියන දේ ගැන. ඒ වෙනුවෙන් මට යමක් කරන්න පුළුවන් නම් උදව් කරන්න කැමැතියි. දුවගේ අධ්‍යාපන කටයුතු ඉවර වුණාම ශ්‍රී ලංකාවට ඇවිත් දේශීය හා ආවේණික ශාක ස්ථිර එකතුවක ප්‍රදර්ශනයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකෙන් අපේ රටට වෙනම වටිනාකමක් ලැබේවි. ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානවලට සහ කෞතුකාගාරයට මගේම කියලා මේ වගේ ශාක සිතුවම් කලෙක්ෂන් එකක් කරන්න ලොකු ආසාවක් තියෙනවා. මොකද ලංකාවේ තියෙන වටිනා ශාකවල සිතුවම් වෙන රටවල කෞතුකාගාරවල තිබුණට ශ්‍රී ලංකාවේ දේ ශ්‍රී ලංකාව ඇතුළෙත් තියෙන්න ඕනේ. සෑම උද්භිද උද්‍යානයකම ශාකාගාරයක් තියනවා නම් මේ සිතුවම් සංරක්ෂණය කරලා තියාගන්න පුළුවන්. අධ්‍යාපනය ලබන දරුවන්ට ශාක සහ සතුන් ගැන තියෙන ජෛව විද්‍යාත්මක වටිනාකම ගැන ඒ හරහා ඉගෙන ගන්නත් අවස්ථාව ලැබෙනවා.

 

විශේෂ ස්තුතිය -

අැඹිලිපිටිය සේන වී. ගමගේ

 

 

[email protected]