කුඩා දරුවන්ගේ Follow Me ඉංග්‍රීසි ගුරුතුමී

නට නටා ඉංග්‍රීසි උගන්වන චූටි ටීචර් ගීතානි
නොවැම්බර් 15, 2021

 

හෝගානා පොකුණ’ චිත්‍රපටයේ ගුරුතුමිය වගේ ටීචර් කෙනෙක් ගමේ හැම දරුවෙකුගේම හිතේ ඉන්නවා. හැබැයි සෑම දරුවෙක්ම සිහිනෙන් දකින ඒ ටීචර් කාටවත් හමු වුණේ නම් නැහැ. ඒ වගේ ටීචර් කෙනෙක් අපේ දරුවන්ටත් හිටියා නම් කියලා ගමේ අම්මලා හැමදාම සුසුම් හෙළන්න ඇති. ඒත් අවුරුදු ගණනක් සොයපු ඒ ගුරුතුමී හැමෝටම චිත්‍රපටයක් වගේ සිහිනයක් පමණක්ම වූවාට සැකයක් නැහැ.

කොරෝනා නිසා ගමේ දරුවෝ අන්ත අසරණ වුණා. ගම නගරය වෙනසක් නැතුව හැමෝටම අකුරු කරන්න ඇති මඟ On line ක්‍රමය බවට පත් වුණේ නොසිතූ ලෙසින්.

මෙලෙස අන්තර්ජාලයේ අසරණ වුණු කුඩා දරුවන්ට ඉංග්‍රීසි දැනුම ලබාදීම ලොකුම ගැටලුවක් වුණා. මේ අඩුව පුරවන්න අපූර්වතම ක්‍රමයකට දරුවන්ට ඉංග්‍රීසි උගන්වන ගුරුවරියක් අහම්බෙන් බිහි වෙනවා. ඇය හෝගානා පොකුණේ ටීචර්ගේ භූමිකාවත් අතික්‍රමණය කළ තරුණියක් කීවොත් හරි. අපූර්ව ඉගැන්වීමේ කලාවක් සහජයෙන්ම උරුමය කරගත් මේ ටීචර් දරුවන් ආකර්ෂණය කර ගන්නා රංගනයෙන් ඉගැන්වීම සිදු කළා. ඇගේ මේ අපූර්ව නැටුම් ඉගැන්වීම දෙස කොළඹ හිටපු අම්මලා පවා බලාගෙන සිටියේ දෑස් අයාගෙන.

ගීතානි ශ්‍යාමලී....

එහෙම නැතිනම් කුඩා දරුවන්ගේ ආදරණීය ‘Follow Me’ ඉංග්‍රීසි ගුරුතුමී දවසක් කලත්තෑවේ සිට කොළඹ පැමිණියා. ඒ ගමනේදී ඇය ‘තරුණී’ පුවත්පත සමඟ පිළිසඳරකට එකතු වුණේ අප කළ පුංචි ආරාධනය හද පතුලෙන් පිළිගෙනයි.

* ඉතිං ගීතානි.... දැන් ඔයා ජනප්‍රිය ගුරුවරියක්. කලත්තෑව ගමේ ඉපදුණු ඔයා කොහොමද මේ අභියෝගය ජය ගත්තේ?

“මගේ මේ ගමන හරිම දුෂ්කරයි. අභියෝග රාශියක් ජයගෙන තමයි මම මේ ගමන ආවේ.

මම ඉපදුණේ අනුරාධපුරේ සිට කිලෝමීටර් 15කට වඩා දුරින් පිහිටි කලත්තෑව ගමේ.

ගමේ පාසලෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා වානිජ අංශයෙන් උසස් පෙළ කරන්න අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයට ඇතුළත් වුණා. මම උසස් පෙළ සමත් වෙලා වයඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා කළමනාකරණ උපාධියක් ලබා ගත්තා. ඇත්තටම පුංචි කාලේ පටන්ම මම සිහින මැව්වේ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමයි.

මගේ අම්මටයි තාත්තටයි ලොකු වත්කමක් තිබුණේ් නැහැ. තාත්තා එළවළු වෙළෙඳාමෙන් තමයි නංගිටයි මටයි ඉගැන්නුවේ. මම විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවත් එක්කම ගෙරදට බරක් නොවී ඉගෙන ගන්න තීරණය කළා. මට ලැබුණු මහපොළ ශිෂ්‍යත්ව අරමුදලින් අවුරුදු 2ක් ඉගෙනගෙන විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරමින්ම රජරට සංවර්ධන බැංකුවට බැඳුණේ තිබුණු ආර්ථික ගැටලුවලින් ගොඩ එන්න. මුදල් සමඟ වැඩි වෙලාවක් ගත කරන්න තිබුණු ඒ රැකියාව මට ඇත්තටම ගැළපුණේ නෑ. එහි තිබුණු පීඩනයත් එක්ක එම රැකියාවෙන් සමු අරගෙන පෞද්ගලික ආයතකයක මූල්‍ය අංශයට ඊළඟට බැඳුණා.

ඒ රැකියාව කළේ ටික කාලයයි. මම නැවතත් මානව සම්පත් කළමනාකරණය හදාරන්න කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණෙන්නේ විධායක ශ්‍රේණියේ තනතුරක් අතහැරලා.

ඒ ඉගෙනීමට තියෙන ආසාව නිසයි. ඒ පාඨමාලාව හදාරන අතර ලංකාවේ හොඳම මානව සම්පත් කළමනාකරණය ඇති Mas ආයතනයට එක්වීමට මට අවස්ථාව හිමි වුණා. එහි මානව සම්පත් අංශයේ හොඳ දක්ෂතාවයක් පෙන්වමින් ස්ථිර පත්වීමක් මට හිමිවුණේ හොඳ වැටුපක් එක්ක.

*ඔබේ විවාහය සිදුවන්නේත් මේ කාලයේ.

ඔව්. ඒ ආයතනයේ රැකියාව කරන අතර විවාහ වීමට මම තීරණය කළා.

මම විවාහ වුණේ ගුරුවරයකු සමඟයි. ඊට පස්සේ මම ආදරණීය මවක් වෙනවා. දුව ඉපදුණාට පසුව රැකියාව කිරීම තරමක් අසීරුතාවට පත්වුණේ විවේකයක් නැති නිසයි. ගෘහණියක් ලෙස දරුවා වෙනුවෙන් මගේ කාලය කැපකිරීමට අවශ්‍ය වූ නිසා ඒ රැකියාවටත් සමු දුන්නේ මවකගේ සෙනෙහස කුඩා දරුවකුට වඩාත් වටින නිසයි.

ඊට පස්සේ අපට ආර්ථික ගැටලු වැඩි වුණා. දරුවාට කිරි පැකට් එකක් ගන්නත් අමාරු වුණා. දුව ගැන හිතලා තමයි නැවතත් මම ගුරු වෘත්තියට 2020 වසරේදී එක් වුණේ.

*ඔබගේ ජීවිතය වෙනස්ම දිශානතියකට ගමන් කරන්නේ ඉන්පස්සේ ?

දැන් මම රැකියාව කරන්නේ තන්තිරිමලේ ශ්‍රී විමලඥාන මහා විද්‍යාලයේ. ඇත්තටම මට රැකියාව ලැබෙනකොට හරියට නිවෙසක්වත් තිබුණේ නැහැ. සැමියත් තඹුත්තේගම. මට රැකියාවට යන්න ඉතාම අසීරු වුණා. වියදමත් වැඩියි. කුලීී ගෙදරකටත් ගෙවන්න වෙනවා. මම කල්පනා කළා මේ සියල්ලටම විසඳුම ටියුෂන් පංතියක් පටන් ගැනීම කියලා.

ඊට පස්සේ ඔබ ඒ අභියෝගය ජය ගත්තේ කොහොමද?

මට මුලින්ම ගමේ ටියුෂන් කරන්න තැනක් ලැබුණේ නැහැ. තැන් කිහිපයකටම ගියා. මම අලුත් ගුරුවරියක් නිසා කවුරුවත් අවස්ථාව දුන්නේ නැහැ. ඊට පස්සේ අපේ ගෙවල් ළඟ ජයන්ති අක්කා කිව්වා එයාගේ දරුවට උගන්වන්න කියලා. ඒ දරුවයි තව දරුවන් දෙතුන් දෙනෙක් එකතු කරගෙන ගමේ පංසලේ මුලින්ම පංතියක් පටන් ගත්තා. මට ලොකු හාමුදුරුවෝ නොමිලේ් පංසලේ බණමඩුවේ පංති කරන්න අවස්ථාව දුන්න නිසා අඩු මුදලකට පංතියක් කරගෙන ගියා. මම පංති කරනකොට ටිකක් ගමේ අයගේ ඇස් ඇරුණා. මම උගන්වන විදිහ වෙනස්. මව්පියෝ රැස්වීම්වලට එනවා. දැන් ඒ අයගේ දරුවෝ ඉංග්‍රීසි කතා කරනවා. ඉංග්‍රීසි අකුරක්වත් බැරි දරුවෝ වචන ගළපා ගළපා අකුරු කියවනවා. දැන් ටික ටික ගමේ අය මාත් එක්ක එකතු වෙනවා.

*ඔබ පාසලේ උගන්වන විටදී මොනවගේ ප්‍රතිචාරයක් ද තිබුණේ?

තන්තිරිමලේ පාසලේ දරුවන්ට උගන්වන විට මට තිබුණ ලොකුම අභියෝගය තමයි මට පත්වීම ලැබුණේ ආර්ථික විද්‍යාව උගන්වන්න. ඒ විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරු දෙන්නෙක් හිටියා. වානිජ විෂය උගන්වන්න ඒ පාසලේ දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා විදුහල්පතිතුමා මගෙන් ඇහැව්වා අර ගුරුවරු දෙන්නට උදව්වක් විදිහට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන්ද කියලා. මම ඒ ඉල්ලීම සතුටින් භාර ගත්තා. පොඩි දරුවන්ට උගන්වන්න මුලින්ම ගිය දවසේම මම Good Morning කිව්වා. දරුවෝ බයේ ගොළුවෙලා මා දිහා බලාගෙන හිටියා. පොත කියවන්න කියල කියනකොට 99%කටම අකුරක්වත් කියවන්න බැහැ. මට තේරුණා මම මේ දරුවන්ට උගන්වන්න කළු ලෑල්ලේ ලිව්වාට ඒක සාර්ථක නැහැ කියලා. මම ඇත්තටම ගන්න වැටුපට වඩා යමක් කරන පුරුද්දක් තිබුණ නිසා මේක මට විශාල ගැටලුවක්. මම හිතට අවංකව හරි යමක් කරන්න ඕනේ කියන දේ හිතේ් තියෙනවා. මේ අහිංසක ගම්වල දරුවන්ට උගන්වන මගේ ම ක්‍රමයක් මම හදා ගත්තා. මුලින්ම මම කළේ දරුවන්ගේ බය නැති කරන්න ඉංග්‍රීසි සිංදු කියන එක. පාඩමට ගැළපෙන සිංදුවක් හදලා පුරුදු වෙලා එනවා. ඊළඟ දවසේ දරුවෝ එක්ක නටලා සිංදු කියලා පාඩම ආසාවෙන් කරනවා. ඉංග්‍රීසි වචන හයියෙන් කතා කරනවා. දැන් දරුවන්ගේ බය ටික ටික නැති වෙනවා. මුලින්ම මම සිංදුව පුරුදු කරලා තමයි පාඩම පටන් ගන්නේ. එතකොට ඉබේම දරුවන්ට වචන ටික හුරුවෙලා ඉවරයි. ඊළඟ ගැටලුව වුණේ දරුවන්ට ඉංග්‍රිසි වචන ලියන්න හුරු කිරීම. මම phonis කියන ක්‍රමයට මේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න පටන් ගත්තා. ශබ්දය අනුව වචන ලියන්න පටන් ගත්තා. ඒකත් ටිකක් අමාරු වුණා. ඒකට විකල්පයක් හැටියට මම කාඩ්බෝඩ් කෑලි අරගෙන විවිධ හැඩතල කපාගෙන පංතියට යනවා. අකුරට අදාළ විවිධ ක්‍රියාකාරකම් කළා. මේ ක්‍රමයට මාසයක් විතර ඉගැන්නුවා. ළමයි 

හොඳ මට්ටමට එනකොටම කෝවිඩ් නිසා පාසල් වසන්න සිද්ධ වුණා.

* ඊට පස්සේ තමයි ඔබ Follow me ටීචර් වෙන්නේ...

කෝවිඩ් නිසා ඉගැන්වීම් නැවතුණා විතරක් නෙවෙයි මට ටියුෂන් කරලා ලැබුණු පුංචි මුදලත් නැතුව ගියා. මේ අතර දරුවන්ගේ අම්මලා මට කිව්වා online හරි උගන්වන්න පටන් ගමු කියලා. ඊට පස්සේ තමයි මගේ පංතියේ දරුවන්ටයි පාසලේ දරුවන්ට onlineපංති පටන් ගත්තේ. මම පාසලේ දරුවන්ගෙන් මුදල් අය නොකර නොමිලේ ඉගැන්නුවා. ටියුෂන් පංතියේ දරුවන්ගෙන් සුළු මුදලක් අය කළා. මේක කරගෙන යනකොට තමයි ගුරු උද්ඝෝෂණය පටන් ගත්තේ. මට පංති නවත්වන්න වුණා. දරුවෝ හැමදාම පංති නැද්ද කියලා අහලා message එවනවා. ගුරුවරියක් ලෙස ටියුෂන් විතරක් කරන්න බැහැ. වත්වෙන්න මුදලුත් මදි. මට ටියුෂන් නිසා ලැබුණු සුළු මුදලත් පවා ඒ වෙලාවේ වටිනවා. දැන් දරුවන්ට ලින්ක් එක යවන්න ක්‍රමයක් නැති නිසා මගේ පාඩම් youtube එකට දාන්න පටන් ගත්තා. අම්මා කෙනෙක් පංතියට සල්ලි දාලා තිබුණා. මට ඒකවත් ගෙවන්න ක්‍රමයක් නැහැ. මම ටියුෂන් කරන්නත් බැහැ. දරුවාටත් එක්ක කියලා youtube එකේ දරුවෝ 10ක් විතර හිටියා.මේක ටික ටික facebook එකේ youtube එකේ කටින් කට ප්‍රචාරය වුණා. හැම පළාතකම අම්මලාත් comment කරන්න පටන් ගත්තා. සන්නස්ගල සර් මාව කවදාවත් දැකලවත් දන්නෙවත් නැතුව comment කරලා තිබුණා නොසිතු වෙලාවක. ඒ වගේ ප්‍රතිචාර ලැබෙනකොට මට හිතාගන්නත් බැරි තරම්. මගේ දක්ෂතාව ප්‍රවීණ ගුරුවරයකු අගය කිරීමත් එක්තරා පුදුමයක්.

 

ඇත්තට පංතිය කරන්න තැනක්වත් නැතුව හිටියේ. මට අපේ ගෙදර online class කරන්න තැනක් තිබුණේ නැහැ. සැමියයි මමයි එකතුවෙලා අපේ ගෙදර පිටිපස්සේ තැනක් හදාගත්තා.

* ඔබේ ගමන් මඟට සහය දෙන සැමියා ගැනත් කතා කරමු.

මගේ සැමියා ඇත්තටම මට විශාල ශක්තියක්. එයාගේ නම කසුන් උදයංග හේරත්. ඔහු මට කිසිම දවසක වැටෙන්න දෙන්නේ නැහැ. විශාල සහයෝගයක් දෙනවා. මට පංති පටන් ගන්න phone එකක්වත් තිබුණේ නෑ. සැමියාගේ phone එකෙන් තමයි පන්ති කළේ.මගේ දරුවටයි තවත් දරුවෝ කිහිප දෙනකුට පටන් ගත්තු ඒ පංතිය තමයි අද ලංකාවේම දන්නේ. මගේ දක්ෂතාවය ලෝකයට ගියේ මම මේ වැඩේ පටන් ගත්තේ හොඳ හිතින්. ඉංග්‍රිිසි කියන දේ උගන්වන්න හරි අමාරුයි කිව්වාට චූටි දරුවන්ට උගන්වන්න මම සරල ක්‍රම අනුගමනය කළේ. දරුවෝ දන්නේම නැතිව භාෂාවක් උගන්වන්න මම අනුගමනය කරපු ක්‍රියාකාරකම්වලට මව්පියොත් කැමැති වුණා. දරුවොත් පුදුම උනන්දුයි.දරුවෝ ධදතඪදඥ පංතියක් කරනකොට ඒ අය දිගු වෙලාවක් ඉන්නේ හරිම අපහසුවෙන්.

ඇයගේ අවසන් වදන් කිහිපය තුළ පැවතියේ සමස්ත ගුරු පරපුරටම ආදර්ශයකි. ඇය සම්ප්‍රදායික ඉගැන්වීමේ රටාවට වඩා දිගු ගමනක් ගියේ ඇයගේම උත්සාහයෙනි. නමුත් කරන රැකියාව තුළ දක්ෂයකු නම් අවංකව තම රැකියාව හා සේවය ලබාදීමෙන් දිගු ගමනක් යා හැකි බවට ඇය කදිම සාක්ෂියකි.

 

 

ඡායා - ශාන් රූපස්සර