කොරෝනා මැද මිස් යුනිවර්ස් 2021 කිරුළ මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියාට

මැයි 31, 2021

සුන්දර කාන්තාවන්ගෙන් හිඟයක් නොමැති ලොව බොහොමයක් රටවල වසරක් පාසා සුන්දරම කාන්තාවන් තෝරයි. මේ සුරූපිනියන් එක්තැන් කරමින් මුළු ලොවේම සුන්දරම ළඳුන් තෝරන තරග කිහිපයකි. මිස් වර්ල්ඩ් හා මිස් යුනිවර්ස් ඒ අතර කාගේත් කතාබහට ලක්වන ප්‍රධානතම තරග දෙකයි. ලොවේම සුන්දර යුවතියන් බලා හිඳින්නේ මේ කිරුළක් තම හිස පලඳා උපන්බිමට කීර්තියක් ගෙන දෙන්නයි.

ඒත් ලොවම භීතියට පත්කළ අදට ද භීතියෙන් පෙළෙන කොරෝනා වසංගතය ලෝකයම වෙලාගැනීමත් සමඟ මේ බොහොමයක් දේවල් අතරමඟ නැවතුණා. විශ්ව රූප රැජිනිය තෝරන මිස් යුනිවර්ස් තරගාවලියත් එලෙස ඇනහිටි දෙයක්. 2019 පැවැති මිස් යුනිවර්ස් තරගාවලියෙන් පසු නැවතත් එය මේ වසරේ පැවත්විණි. 69 වැනි වරට අමෙරිකාවේ හොලිවුඩ් හි සෙමිනොල් හාර්ඩ් රොක් හොටෙල් ඇන්ඩ් කැසීනෝහි දී පසුගිය 17 වැනිදා පැවති මේ තරගාවලියෙන් ජය හිමිකර ගත්තේ මෙක්සිකන් රුවැත්තියයි. මිස් මෙක්සිකන් කිරුළ පැලඳ මිස් යුනිවර්ස් වූ ඇය ඇන්ඩ්‍රියා මෙසා. මෙවර තරගාවලියේ අවසන් තරගකාරියන් පස්දෙනා අතරට මෙක්සිකෝව, ඉන්දියාව, බ්‍රසීලය, ඩොමිනිකන් රාජ්‍යය හා පේරු රටවල සුරූපිනියන් තේරී පත් වූ අතර ෆස්ට් රනර් අප් කිරුළ බ්‍රසීලය ද දෙවැනි තැන පේරු රාජ්‍යයට ද තෙවැනි ස්ථානය ඉන්දීය සුරූපිනිය ද හිමිකර ගත්තා. ඉන්දියාව මේ මොහොතේ පත්ව අැති අසීරුතාව මැද වුවද තමන් සුන්දර කාන්තාවන් හිඟ නොමැති දේශයක් බව ලොවට කියා පෑවේය.

මෙවර තරගාවලිය අතරතුර බොහෝ සුරූපිනියන් තම රටවල පවත්නා දේශපාලන තත්ත්වය පිළිබඳ ලෝකයට පණිවිඩයක් දීමට උත්සාහ කළ ආකාරයක් ද දක්නට ලැබුණි. ඒ අතර ඉදිරියෙන්ම හිඳින්නේ මියන්මාරයේ සුරූපිනියයි. තුෂාර් වින්ට් ල්වින් නම් වූ ඇය pray for Miyanmar නමින් බැනරයක් ඔසවාගෙන සිටියා. ඒ වගේම හොඳම ජාතික ඇඳුම හෙවත් තම රටට ආවේණික ඇදුම හා අනෙකුත් ආභරණ වෙනුවෙන් best for national costume ජය හිමිකර ගත්තේත් මියන්මාරයි. සිංගප්පූරු රූප රාජිනිය සිය ජාතික කොඩිය සහිත ඇඳුමක් ඇඳ සිටි අතර එහි සඳහන්ව තිබුණේ ආසියානුවන්ට වයිර කිඊම, ආසියානුවන් පිළිකුල් කිරීම නවත්වන ලෙස 'Stop Asian hate' යනුවෙනි.

කොරෝනා නිසා වැඩිම කාලයක් මිස් යුනිවර්ස් කිරුළ දරා හිඳියේ 2019 විශ්ව රූප රාජිනිය වූ දකුණු අප්‍රිකානු රුවැත්තිය ෂොසිබිනී ටන්සිය. ඇය තම කිරුළ ගළවා මෙක්සිකන් සුරූපිනිය වූ ඇන්ඩ්‍රියා ගේ හිසමත තැබුවා. ඒ අතරතුර මේ දෙන්නා සෙල්ෆි ඡායාරූපයක් ගන්න අමතක කළෙත් නෑ.

මේ මෙක්සිකෝව විශ්ව රූප රාජිනිය කිරුළ දිනාගත් තෙවැනි අවස්ථාවයි. මීට පෙර 1991 හා 2010 වසරවල දී මෙක්සිකෝව මේ කිරුළ දිනාගෙන තිබෙනවා. 26 හැවිරිදි ඇන්ඩ්‍රියා මෙසා නිරූපණ ශිල්පිනියක්. රූපලාවණ්‍ය ශිල්පිනියක්. එපමණක් නොව ඇය මෘදුකාංග ඉංජිනේරු විද්‍යා උපාධි ලාභිනියක්. තරගකාරිනියන් 73 දෙනකු අතරින් ජය හිමිකරගත් ඇය සිය ජයග්‍රහණයෙන් පසුව ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබුණේ 'මෙක්සිකෝව, මෙය ඔබ වෙනුවෙනි'.