ලෝක සංචාරක රූ කිරුළ අපේ රටට දිනා දුන් රූප රාජනිය නලීෂා භානු

ඕනෑම ක්ෂේත්‍රයක් තුළ හරියට හිටියොත් හොඳ නමක් තියාගෙන ඉදිරියට යන්න පුළුවන්
ජනවාරි 10, 2022

 

ආසියාව රුවැත්තියන්ගේ තෝතැන්නකි. එසේ නම් අපේ රටෙත් රුවැත්තියන්ගේ අඩුවක් වෙන්නට බැහැ නේද? ජාත්‍යන්තරයේදීත් අපේ ළඳුන්ගේ නම් බැබළෙන්නේ ඒ නිසාමයි.

ඒ බව පසක් කරමින් පසුගියදා පිලිපීනයේ පැවැති ලෝක සංචාරක රූ රැජින තරගාවලියේ දී ලංකාවේ නලීෂා භානු කිරුළ දිනා ගත්තා. අද අපි කතා බහ කරන්නේ රටවල් 30ක රුවැත්තියන් සමඟ තරගකර සංචාරක රූ කිරළ ලංකාවට දිනා දුන් ඒ රූමතිය සමඟයි.

 

ලැබුණු ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ...

හිතාගන්න බැරි තරමේ ලොකු සතුටක් හිතේ තියෙනවා. ලංකාවට ජයග්‍රහණය කරන්න නොහැකි වූ ජාත්‍යන්තර කිරුළක් ලංකාවට ලබාදීම ගැන උපරිමයෙන් සතුටු වෙනවා.

ඔබට ජය ලැබේවි කියලා විශ්වාසයක් තිබුණ ද?

තරගයට සහභාගි වන යුවතියන්ගේ ඡායාරූප දකිද්දී ලොකු බයක් දැනුණා. ඔවුන් ලංකාවේ අයට වඩා පෙනුමින් වෙනස්. ඉතා සුන්දරයි. ඒ වගේ පිරිසක් එක්ක තරගකරන්නේ කොහොමද කියලත් මට ලොකු බයක් දැනුණා. පළමු ස්ථානය ලැබෙයි කියලා මම කොහොමටවත් හිතුවේ නැහැ. මගේ බය නැතිකරලා, ජයග්‍රහණය කරා මාව ගෙන ආවේ මගේ ගුරුවරයා.

 

තරගයට යොමුවුණේ කොහොමද?

ලංකාවේ පැවැත්වූවා මිස්ට ඇන්ඩ් මිස් ශ්‍රී ලංකා කියලා පැජන්ට් එකක්. එහි අධ්‍යක්ෂක වුණේ චරිත් ගුණසේකර. ඉවෙන්ට් නිෂ්පාදක වුණේ ඉසුරු ගුණසේකර. කොරියෝග්‍රැෆි කළේ රුක්මල් සේනානායක. ප්‍රධාන සංවිධායක වුණේ චන්දිමාල් ගුණසේකර. ප්‍රධාන අනුග්‍රහය තරංග සිරිල්. එම තරගයෙන් මම තෙවැනි ස්ථානය දිනාගත්තා.

ඒ ජයග්‍රහණයත් එක්ක ඔවුන් සියල්ලන්ම තීරණය කළා ජාත්‍යන්තරයේ පැවැත්වූ ලෝක සංචාරක රූ රැජින තරගයට මාව ඉදිරිපත් කරන්න. ඒ විදිහට තමයි මම මේ තරගයට සම්බන්ධ වුණේ. පොඩි කාලයක් ඇතුළත මම මේ තරගයට පුහුණු වුණා. මගේ ගුරුවරයා රුක්මල් සර් තමයි මාව සූදානම් කළේ.

 

තරගය පැවැති ආකාරය ගැන දැන ගන්න තරුණී පාඨකයිනුත් කැමැති ඇති...

තරගය පැවැත්වුණේ පිලිපීනයේදී. නමුත් පවතින කෝවිඩ් තත්ත්වයත් එක්ක තරගය පැවැත්වුණේ ඔන්ලයින් හරහා. රටවල් 30කින් තරගකාරියන් 30දෙනකු සහභාගි වුණා. ඔන්ලයින් ක්‍රමය හරහා පැවැත්වූ නිසා තමන්ගේ හැකියාව පෙන්වන වීඩියෝ සහ සම්මුඛ සාකච්ඡා වීඩියෝ මගින් එයාලට යොමු කළා.හැකියාව පෙන්වන වටයේදී මං කළේ අංගම්පොර. වගීෂ බණ්ඩාර අංගම්පොර මාස්ටර් ඒ සඳහා මාව පුහුණු කළා. ඒ වටයේදී මා ජයග්‍රහණය කළා. ඉන්පසුව ෆේස්බුක් ලයික් වටයක් තිබුණා. එයිනුත් ජයග්‍රහණය ලැබුණේ මට.

මින් පෙරත් මෙවන් ජයග්‍රහණ ලබා තිබෙනවා ද?

ප්‍රසිද්ධ නාළිකා කිහිපයකම අවුරුදු කුමාරි තරගවලට ඉදිරිපත් වුණා. නමුත් මුල් වටවලදීම කැපිලා ගියා.

දිගින් දිගටම පරාද වුණා කියලා මම සැලුණේ නැහැ.

දිගටම ඉදිරිත් වුණා. එහෙම යද්දී තමයි මිස්ට ඇන්ඩ් මිස් ශ්‍රී ලංකා ඉදිරිපත් වුණේ. මම හිතන්නේ මගේ ජීවිතය වෙනස් වුණේ එතැනින්.

 

කුඩා කාලයේ ඉඳලම හීනය වුණේ රූ රැජිනක් වෙන්න ද?

පුංචි කාලේ ඉඳලම මම ලස්සන දේවල්වලට හරි කැමැතියි. විලාසිතාවලට ලොකු කැමැත්තක් තිබුණා.

සුන්දර යුවතියන් තෝරන තරග මම පුංචි කාලේ ඉඳලම බැලුවා.

මගේ පාසල හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලය. පාසලේදී අධ්‍යාපන කටයුතුවලට වගේම බාහිර කටයුතුවලටත් සම්බන්ධ වුණා. නර්තනයටත් මම හරි කැමැතියි.

 

ඒ වගේම ඔබ නිරුපණ ක්ෂේත්‍රය තුළත් දකින්න ලැබෙන චරිතයක්...

මම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණේ 2017 වසරේදී.

උසස් පෙළ හදාරා අවසන් වුණු ගමන්ම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණා. දැන් දිගටම නිරූපණ ක්ෂේත්‍රයේ නියැලී ඉන්නවා.

 

ඒ කියන්නේ ඔබ වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක්....

මම තවමත් නිරූපණය හදාරන ගමන් ඉන්නේ. ඕනෑම දෙයක් හදාරා ඒ ඔස්සේ ගමන් කළොත් ඉතාම හොඳ ගමනක් යන්න පුළුවන්.

නිරූපණය කියලා කියද්දි විවිධ අය විවිධ කෝණවලින් බලනවා.

 

එහෙම වෙලා තියෙන්නේ තමන්ගේ තැන හරියට තියාගන්නේ නැතුව, විනය හරියට තියාගන්නේ නැතුව වෘත්තියට පිළිකුලක් ලෙස හැසිරෙන සමහර අය නිසයි. නමුත් ඕනෑම ක්ෂේත්‍රයක් තුළ හරියට හිටියොත් හොඳ නමක් තියාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම මම මගේම ව්‍යාපාරයක් ද පවත්වාගෙන යනවා.

පවුලේ විස්තර ගැනත් කතා කරමු.

මගේ ගම පාදුක්ක. මට ඉන්නේ අම්මයි, අයියල දෙන්නයි, ආච්චියි. අම්මා තමයි මගෙ හැමදේටම ළඟින්ම ඉන්නේ.

කොහේ ගියත් එයා මාත් එක්ක යන්න එනවා. අම්මා රමණි වසන්තා.

 

පවුලේ අයගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම මගෙ අයියලා දෙන්නගෙන්. සාමාන්‍යයෙන් අයියලා කැමැති නෑනේ තමන්ගේ නංගි මේ වගේ තරගවලට ඉදිරිපත් වෙනවට. මගේ අයියලා සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත.

එයාලා නිතරම කිව්වේ නංගි හැමදේටම අපි ළඟින් ඉන්නවා කියලා. ඒ වගේම මගේ ලොකු අම්මවත් මතක් කරන්න ඕනේ. එයාත් මට ගොඩක් උදව් කළා.

 

ලබපු ජයග්‍රහණයත් එක්ක ඉදිරියට මොකද කරන්න හිතන් ඉන්නේ...

මේ ලබපු ජයග්‍රහණයත් එක්ක හැමෝම අහනවා ඉදිරියට වෙනත් පැජන්ට් වලට සහභාගි වෙනවද කියලා. වෙනත් පැජන්ට්වලට සහභාගි වෙන්න දැන් බලාපොරොත්තුවක් නැහැ.

ඒ මොකද ඉස්සරහට එන්න ඉන්න නව පරම්පරාවටත් අවස්ථාවක් දෙන්න ඕනේ.

මේ දේ හරියට ඉගෙන ගන්න ලංකාවේ හරි තැනක් හරි ක්‍රමවේදයක් නැහැ.

මට අවශ්‍ය ඒ දේවල් හදලා තව පිරිසකට අවස්ථාව දෙන්න.

සාමාන්‍යයෙන් විදෙස් රටවල පොඩි දරුවගේ කාලේ ඉඳලමයි නිරූපණය පුහුණු කරන්නේ. මට අවශ්‍ය ඒ වගේ ක්‍රමවේදයක් ලංකාව තුළත් නිර්මාණය කරන්න. නමුත් ඊට ප්‍රවීණයන්ගේ සහයෝගය අවශ්‍යයි.

 

අද ඔබ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ...

මට තිබුණේ සුන්දර ගමන් මඟක් නොවෙයි. පරාද වෙලා, පරාද වෙලා තමයි මේ තැනට මම ආවේ. මේ ක්ෂේත්‍රයට අලුතින් එන්න කැමැති අය ඕනෑ තරම් ඉන්නවා.

මේක හරි දැනුමක් ඇතුව ඉලක්කයට අනුව යායුතු ගමනක්. මම අද වඩාත්ම සතුටු වෙන්නේ මම ඒ දේ හරි පිළිවෙලට කරපු නිසයි.

 

 

ඡායා - ශාන් රූපස්සර