මම දුවලා දෙන්නා හැදුවේ ඇස් දෙක වගෙයි

යමුනා මාලිනී පෙරේරා
ජනවාරි 9, 2023

අපේ ජීවිතවල වනස්පතිය අම්මා ප්‍රතිභා ප්‍රභා පෙරේරා

ප්‍රවීණ ලේඛිකාවක, කිවිඳියක, ගීත රචිකාවියක වූ යමුනා මාලිනී පෙරේරා තරුණී පාඨක ඔබ හොඳින් හඳුනන්නේ අපූරු නවකතා රචිකාවක ලෙසිනි. පාසල් වියේ පටන් පන්හිඳට පෙම් බැඳි ඕ සේනක පෙරේරා නම් වූ දැවැන්තයාගේ සෙවණේ දී සිය කුසලතාවන් මනාව ඔපලා ගත්තීය. බිරියක, මවක, මිත්තණියක වෙමින් ජීවිත පොතේ පිටු පෙරළී ගිය ද ඇයගේ පන්හිඳ තවමත් තුරුණුය.

 

ප්‍රතිභා ප්‍රභා පෙරේරා, ප්‍රමුදි ශෝභා පෙරේරා මේ අපූරු ලියැවිලිකාරියගේ දියණියන් දෙදෙනායි. ඔවුන් වෘත්තීයමය වශයෙන් වෙනත් රැකියාවන් තුළ නියැළී සිටිය ද මවගේත්, පියාගේත් කලා හැකියාවන් උපතින්ම දෝත දරා ගත්තවුන්ය.

විශේෂයෙන්ම ප්‍රතිභා ප්‍රභා සිය මවගේ අඩිපාරේ යමින් කලාව තුළ විවිධ ඉසව් ස්පර්ශ කරලන්නේ හරි අපූරුවටයි.

මෙවර තරුණී අම්මයි – දුවයි විශේෂාංගය වෙන්වනුයේ මේ ආදරණීය මව සහ දියණියන් වෙනුවෙනි.

 

ඉතින් කොහොමද යමුනා අක්කේ? මේ දවස්වල අලුත් වැඩ කටයුතු මොනවද?

 

“වෙනදා වාගේම තමා. මගේ නිර්මාණ කටයුතුවල නියැළෙනවා. මගේ අලුත්ම නවකතාව ‘අසීමාන්තික’ වාගේම ‘නිර්මාණ කෘති’ විචාරාවලියකුත් එළි දැක්වුණා. ඊට අමතරව ගීත කිහිපයකුත් කළා. ඒ සියල්ලටම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

 

ප්‍රතිභා ඔබේ වැඩිමහල් දියණියයි. අපි ඇය ගැන කතා කරමු.

 

“ප්‍රතිභා කියන්නේ හරිම සංවේදී දරුවෙක්. ඒ වාගේම හරිම ආදරණීයයි. ලිවීමේ හැකියාව වගේම කථිකත්වයටත් දක්ෂයි. රඟපාන්නත් පුළුවනි. කලාවේ සෑම ඉසව්වකම එයාගේ දක්ෂතා පෙන්වනවා නම් මම හරිම කැමැතියි.”

 

ප්‍රතිභාට අපූරු ගායන හැකියාවකුත් තියෙනවා නේද?

 

ඔව්. ප්‍රතිභා සංගීතය හැදෑරුවා. හොඳට සිංදු කියන්න පුළුවනි. මම එයා වෙනුවෙන් සිංදු කිහිපයක් ලියලත් දුන්නා. කසුන් කල්හාර, තීක්ෂණ අනුරාධ, චන්දන ලියනාඅරච්චි මේ අය එක්ක කරපු සින්දුවලට ඉහළ ප්‍රතිචාර හිමි වුණා. කොහොමටත් ප්‍රතිභා සංගීත අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙනවට සේනක හරිම ආසාවෙන් හිටියේ.”

 

චූටි දූ ප්‍රමුදි ගැනත් කියමු නේද?

 

“ ප්‍රතිභා වගේම තමයි ප්‍රමුදිත් හරිම ආදරණීය දුවෙක්. මට හිතෙනවා එයාට සේනකගේ ගතිගුණ ගොඩාක් තියෙනවා කියලා. හැබැයි මම වාගේම හිත හරිම ශක්තිමත්. ප්‍රමුදිටත් ලස්සනට ලියන්න පුළුවනි. ඒත් එයා රැකියාව පැත්තට යොමු වුණා මිසක් කලාවට නැඹුරු වුණේ නෑ. හැබැයි එයා කවදාහරි දවසක කලා කටයුතුවලට දායක වෙනවා නම් මම හරිම සතුටුයි”

 

ඔබ දැන් මිත්තණියක්

 

ඔව්. මම මුනුපුරාලා දෙන්නෙක් සහ මිනිබිරියකුගේ ආත්තම්මා කෙනෙක්. මගේ දුවලා වෙනුවෙන් වාගේම දැන් මෙයාලා වෙනුවෙන් හැමදේම හොයලා බලනවා. විශේෂයෙන්ම මේ තුන්දෙනා ලේඛන කලාවට යොමු වෙනවා නම් මම හරිම කැමැතියි. අපේ තෙවැනි පරපුර හොඳ නිර්මාණශීලි පරපුරක් කිරීම තමයි මගේ අරමුණ.”

දෙවැන්නී ප්‍රමුදි අපට මුණ නොගැසුණත්, ප්‍රතිභා සමඟ පුංචි කතාබහක නියැළෙන්න අපි අමතක නොකළෙමු.

 

ප්‍රතිභාගේ මව කියන්නෙ අපේ රටේ ජනප්‍රිය චරිතයක්. හැබැයි ඇය ඔබගේ මව. ඒ අම්මා ගැන දැනෙන්නෙ කොහොමද?

 

“මම හිතන්නෙ දෙවියන් වහන්සේ අපට දුන්න තිළිණය තමයි අම්මා. තාත්තා නැතිවෙච්ච දවසේ ඉඳන් අපේ ජීවිතවල වනස්පතිය වුණේ අම්මා. සතුටෙදි වාගේම දුකේදී නොසැලී ඉන්න ශක්තිය වුණේ ඇය. මම වැටෙන සෑම වේලාවකම මගේ පිටුපස්සෙන් හිටගෙන නැඟිටින්න අත දුන්නෙ අම්මා තමයි. තාත්තා මේ ජීවිතයෙන් සමුගත්තෙ අපේ අම්මා අතට යෂ්ටිය දීලා. එදා ඉඳන් මේ දක්වා ඇය ඒ යෂ්ටිය අත් හැරියේ නෑ.”

 

ඔබ දෙදෙනා පරම්පරා දෙකක නියෝජනයක්. ඉතින් මත ගැටුම් සිදුවන අවස්ථා නැති ද?

 

“එහෙම අවස්ථාවල් නැතුවා නෙවෙයි. මොකද මට ටිකක් තරහා යනවා කියලා අම්මා දන්නවා. ඒ වෙලාවට ඇය මට කියන්නෙ ‘හිත හොඳ නපුරි’ කියලයි. ඒ මොනවා වුණත් අම්මා තරම් මාව තේරුම් ගත්තු කෙනෙක් තවත් නැහැ.”

 

අම්මාට රසට උයන්න පුළුවනි නේද?

“ඇත්තටම ඔව්. ඇයට රසට උයන්න පුළුවන්. ඇය හදන මාළු ඇඹුල් තියල් හරිම රසවත්. ඒ වාගේම රසට වටලප්පම් හදනවා. අපේ තාත්තා ඒ වටලප්පම් කන්න හරිම කැමැතියි. ඒ නිසාම තාත්තා නැති වුණාට පස්සෙ ඇය වටලප්පම් හැදුවෙ නෑ. ඒනිසා අපිට රස වටලප්පම් කන්න ලැබුණෙත් නෑ.”

 

ඔබේ කලා කටයුතු ගැනත් කියන්නකෝ?

 

“මගේ රැකියාව තමයි ජීවිතයේ අංක එක කරගෙන තියෙන්නෙ. මේ දිනවල. ඊට අමතරව භාරතී වීරසිංහ අයියා කරන යූ ටියුබ් නාළිකාවේ ‘සිං-දුව’ වැඩසටහන කරන්නෙ මම. තාත්තලා තමන්ගෙ දුවලා ගැන ලියපු සිංදු ගැන තමයි එහිදී කතා කරන්නෙ. ඒ වගේම මම දිගටම මුහුණු පොතේ ලියනවා. මම ලියපු ලිපි එකතුවක් සහ කවි පොතකුත් ඉදිරියේදී එළිදක්වන්නත් බලාපොරොත්තු වෙනවා. සින්දුවකුත් කරලා තියෙන්නෙ. මේ දිනවල රැකියාවේ කාර්යබහුලත්වය නිසා එහි රූප රචනයේ වැඩ ප්‍රමාද වුණා. ඉක්මනින් එහි වැඩ නිම කරන්නත් හිතාගෙන ඉන්නවා.”

 

 

ඡායාරූප - ශාන් රූපස්සර

 

 

අපේ ජීවිතවල වනස්පතිය අම්මා ප්‍රතිභා ප්‍රභා පෙරේරා