වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
මගේ තාත්තා කලාවට ආදරය කළා

කුඩා කාලයේ සිටම ඇය ජීවිතය ගෙන ගියේ කලාවත් සමඟයි. ඇය ඒ ගමන පටන් ගන්නේ ඇගේ පියාව ආදර්ශයට ගනිමිනි. ඔහු සරත් හල්පිට. ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ඔහු වේදිකාවට නව අරුතක් එක්කළ අපූරු කලාකරුවෙකි.
ඔහුගේ අඩිපාරේ ගිය ඇය සඳසීලි ප්‍රනාන්දුය. බැංකු ක්ෂේත්රයේ රැකියාවක නියැළුණු ඇය මේ වනවිට විශ්‍රාම සුවයෙන් පසු වුවත් රංගන කටයුතුවලට වගේම සමාජ සේවය වෙනුවෙන් ද තම දායකත්වය නොමදව ලබා දෙමින් වෙනස්ම ගමනක් යමින් සිටියි. මේ කතාබහ කලාවට ආදරය කරන ඇය සමඟිනි.
"මම වෘත්තීමය රංගන ශිල්පිනියක් නෙවෙයි. රංගනය කියන්නේ මගේ විනෝදාංශය. මම වෘත්තීය විදිහට මහජන බැංකුවේ රහස්‍ය ලේකම්වරියක් විදිහට කටයුතු කළා. බැංකුවට සම්බන්ධ වුණේ 1967 දී. අවුරුදු 32ක් සේවය ලබා දීපු මම 1999දී විශ්‍රාම ගත්තා. කවදත් මගේ හිත තිබුණේ කලාවට. ඉතින් පුළුවන් හැම වේලාවෙම මම කලාවට සම්බන්ධ වුණා. 2018 දී විශිෂ්ට කලාකරු සම්මානයත් 2019 දී කලාභූෂණ සම්මානයත් ලැබුණා."
කොහොමද මුලින්ම කලාවට සම්බන්ධ වුණේ?
මගේ උපන් ගම නුවර. මගේ තාත්තා නුවර ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහටයි සේවය කළේ. මගේ තාත්තා කලාවට ආදරය කරපු කෙනෙක්. තාත්තා ඒ කාලේ ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා වේදිකා නාට්‍යයක් කළා. තාත්තා තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ චරිතය කළේ. ඒකේ ආරම්භක නර්තනය ඉදිරිපත් කළේ මම. එතකොට මට වයස අවුරුදු 5ක්වත් නැහැ. ඊට පස්සේ තාත්තා කරපු තවත් නාට්‍ය කිහිපයකට මට ඒ විදිහට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ විවිධ රාජ්‍ය උත්සවවලදීත් මගේ රංගන හැකියාව ප්‍රදර්ශනය කරන්න මට අවස්ථාව ලැබුණා.
පාසල් කාලය ගැන කතා කළොත්?
කාලයක් යද්දී තාත්තාට කොළඹට මාරුවෙන්න සිද්ධ වුණා. මට හිතෙනවා ඒකෙන් මගේ රංගන ජීවිතයට ආලෝකයක් ලැබුණා කියලා. මොකද මට හොඳ පාසලක් ලැබුණා. මම ගියේ කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලයට. මම පාසලේ කැපී පෙනන ශිෂ්‍යාවක් වුණා. නර්තනය, රංගනය වගේම ගායනයටත් මම ගොඩක් දක්ෂයි. පාසලේ පැවති මනමේ නාට්‍යයේ මනමේ බිසව ලෙස රඟපෑවේත් මමයි. බොහෝ අවස්ථාවල මමම පිටපත ලියලා මම රඟදක්වපු වේදිකා නාට්‍යයත් තියෙනවා. මගේ මේ දක්ෂකම් දැකලා ගුරුවරු මං ගැන පුදුමයට පත්වුණා. 1971 දී සමස්ත ලංකා ගද්‍ය, පද්‍ය, රචනා, කෙටිකතා මේ තරග සියල්ලෙන්ම මම පළමු තැන ලබා ගත්තා. ගුවන් විදුලියේ ළමා රංග පීඨය ඇතුළු වැඩසටහන් කිහිපයකට මම සහභාගි වුණා.
ඔබ කලාකාමී පවුලකින් පැවත එන කෙනෙක්. ඉතින් පවුලෙන් ලැබුණු සහයෝගය කොහොම ද?
පාසලේ විවිධ වැඩසටහන්වලදී මගේ නර්තන හැකියාවත් මම පෙන්නුවා. නමුත් මම ආස කරපු විෂයය මට කරන්න ලැබුණේ නැහැ. මොකද පවුලේ අනිත් අයගෙන් ලොකු බලපෑමක් නැති වුණත් මගේ අත්තම්මා කැමැති වුණේම නැහැ මම නැටුම් කරනවට. ඒ නිසා ටෙක්නිකල් කොලේජ් එකේ වාණිජ පාඨමාලාවක් කළා. ඒ අතරේ බැංකුවේ විභාගයකට පෙනී සිට සමත් වුණා. ඒ විදිහට රහස්‍ය ලේකම් තනතුර දක්වා මම පැමිණියා.
මගේ වෘත්තිය වුණෙත් වෙනමම විෂයයක්. ඉතින් මම විශ්‍රාම ගනිද්දීත් මගේ හිත තිබුණේ කලාවට. ඊට පස්සේ මම නැවත කළා කටයුතුත් එක්ක එකතු වුණා.
ඔබ රංගන දායකත්වය ලබා දුන් කලා නිර්මාණ ගැන කතා කළොත්?
මම රංගනයට පිවිසුණේ ඉරේෂ් ලොකු බණ්ඩාරගේ ‘තඹපාට හැන්දෑව’ ටෙලි නාට්‍යයෙන්. ඊට පස්සේ බූඩී කීර්තීසේනගේ නිර්මාණයකටත් අධ්යක්ෂ දයාරත්න රටගෙදරගේ “සිත නිවන කතා” ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයකටත් සහභාගි වුණා. ජයලත් මනෝරත්නගේ “සමනලී” ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකටම මගේ රංගනය දායකත්වය ලබා දී තිබෙනවා.
දැන් ඔබ දරු මුණුබුරු මිණිබිරියන්ගේ ආදරය ලබන ආදරණීය මිත්තණියක්.
මට ඉන්නේ දුවලා දෙන්නයි පුතයි. දුවලා නම් වැඩි කැමැත්තක් දැක්වූවේ නැහැ මම රඟපානවට එයාලා නිතරම කිව්වේ අම්මා හිටපු රහස්‍ය ලේකම්වරියක්. ඒ ගෞරවය තියාගෙන රඟපෑමට සමුදෙන්න කියලා.
සැමියා දැන් ජීවතුන් අතර නැහැ. ඔහු තිස්ස ආරියප්‍රේම ප්‍රනාන්දු. මට ඔහුව මුලින්ම හම්බවෙන්නේ මගේ වෘත්තීය ජීවිතය තුළදී. ඔහු මහජන බැංකුවේ හිටපු කළමනාකරු. කොහොමහරි ඒක ආදරයකට පෙරළිලා අපි ඉක්මනින් විවාහ වුණා. මගේ ජීවිතයේ බාධක තිබුණා. මගේ සැමියා දෙපාරක් එක ළඟ අනතුරුවලට මුහුණපෑවා.
එයා අසනීපෙන් හිටියේ. එයාව බලාගත්තේ මම. විවාහ වෙද්දී මම එයාගේ අතින් අල්ල ගත්තා වගේම මැරෙන තුරාවට මම අත අතහැරියේ නැහැ. ඒ තරම් ආදරෙන් මං එයාව බලාගත්තා. දැන් මා දරුවන්ගේ සහ මුණුබුරු මිණිබිරියන්ගේ ආදරය ලබමින් කාලය ගත කරනවා.
ඔබ කලාකාරිනියක් පමණක්ම නෙවෙයි නේද?
මම සමාජ සේවා කාර්යයන් බොහොමයකට සම්බන්ධ වෙනවා. දිස්ත්‍රික් මට්ටමින් කරන කලා සංගමයේ සාමාජිකාවක්. මහජන බැංකුවේ විශ්‍රාමිකයන්ගේ සංගමයෙන් කෙරෙන කලා සංගමය ඇතුළු සංගම් රැසක ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස බොහෝ කටයුතුවලට සම්බන්ධව සිටිනවා.
මේ සංගම් තුළින් සියලු දෙනාගේ යහපත වෙනුවෙන් බොහෝ කටයුතු සූදානම් කරනවා. ඉතින් හැමෝටම උදව් කරගෙන සතුටින් මම කාලය ගත කරනවා.