සුසුදු සුදු මුදු සමක අරුමය...

ඔබේ සම ලස්සන කරන පුදුම රහස්
දෙසැම්බර් 26, 2022

කාන්තාවක් යනු සියුමැලි, සුමුදු පෙනුමක හිමිකාරියකි. මෙය ස්වභාවයෙන් ම කාන්තාවට ලබා දී ඇති වරප්‍රසාදයකි. එහෙත් ඇතැම් තරුණියන්ගේ සම එතරම් මෘදු නොවේ. සුමුදු සමක් පැවැති ඇතැම් අයගේ සමේ රළු ස්වභාවයන් ඇති විය හැකියි. එය කාන්තාවක ලෙස ඔබගේ පෞරුෂයට කරන බලපෑම සුළුපටු නැත.

පිරිමියකුගේ මෙන් රළු සමක් ඇති කාන්තාවන්ට පිරිමින් වැඩි කැමැත්තක් නොදක්වයි. රළු සමක් ඇති විට විවිධ විලාසිතා අනුව ඇඳුම් ඇඳීමට ද නොහැකියි. මුහුණේ සම රළු වූ විට එය වසා ගැනීමට නිතර මේක්අප් දැමීමට පවා සිදු වේ. සම රළු වීම සඳහා විවිධ හේතු බලපෑම් කළ හැකියි.

විශේෂයෙන් ම යම් රළු මතුපිටක සම නිතර නිතර ස්පර්ශ වේනම් සමේ එවැනි ස්ථාන රළු වේ. එමෙන්ම ජානමය ලෙස එන පාරම්පරික ලක්ෂණ ද සම රළු වීම සඳහා බලපානු ලබයි. එමෙන්ම නිවැරැදි ක්‍රමවේදයන්ට අනුව සම රැකබලා නොගැනීම ද සම රළු වීමට හේතු වේ. කාලයක් බාල වර්ගයේ ආලේපන වර්ග භාවිතය ද මෙයට හේතුවිය හැකියි.

ජලය අඩුවෙන් පානය කිරීම නිසා සම වියළීමත්, පසුව සම රළු වීමත් සිදු වේ. මෙලනින් වැඩි වීම, සමේ අධික වියළි බව, මුහුණේ තෙල් අධික ස්වභාවය (මෙවිට ඇක්නි, බ්ලැක්හෙඩ්ස් වයිට්හෙඩ්ස්, පිම්පල් ආදිය නිසා) නිසා ද සම රළු බවට පත් වේ. මේ හේතූන් නිසා ඇතැම් අයගේ පිට ප්‍රදේශයේ, පිට දෙපස ද සම රළු වේ.

කකුල්වල සම පැළීම, කොරළ ස්වභාව, සමේ රළු බව ඇති විට සම පිරිසුදු කිරීම සඳහා සැර සබන් වර්ග භාවිත කිරීම සුදුසු නොවේ. ඒ සඳහා වියළි සමට සුදුසු ස්වභාවික නිෂ්පාදන භාවිත කරන්න.

සමේ වියළි බව මඟහරවා ගැනීම සඳහා ග්ලිසරින් ස්වල්පයකට රෝස වතුර ස්වල්පයක් දමා හොඳින් මිශ්‍රකර කපු රෙදි කැබැල්ලක් ආධාරයෙන් එම ආලේපය වියළි සම මත ආලේප කරන්න. එසේ ආලේප කිරීමෙන් පසුව ටික වේලාවක් හොඳින් සම පිරිමදින්න. එවිට වියළී ගිය මැරුණු සම ඉවත් වී සමට පෝෂණයක් ලැබේ.

කොතරම් බාහිරින් ආලේපයන් සිදු කළත් සමේ රළු බව නැතිකර ගැනීම සඳහා විටමින් ඊ, විටමින් බී 12, ෆිස් ඔයිල් (මෝර ගුලි) වැනි විටමින් වර්ග ගැනීම වැදගත් වේ. හොඳින් ජලය පානය කරන්න. ලුණු අධික ආහාර වර්ග, ඌෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න. පිපිඤ්ඤා, කොමඩු, කැකිරි ආදී ආහාර වර්ග වැඩි වශයෙන් ආහාරයට ගන්න.

සතියකට දින දෙකක් පමණ ස්ක්‍රබ් එකක් කිරීම ද සමේ රළු බව වළක්වා ගැනීමට වැදගත් වේ.

මේ සඳහා කෝපි කුඩු, දුඹුරු සීනි, කහ කුඩු සහ මී පැණි සම ප්‍රමාණවලින් ගෙන (කහ කුඩු එම ප්‍රමාණයෙන් භාගයක් ගන්න) පේස්ට් එකක් සාදා ගන්න. මෙම තලපය ඔබට ශීතකරණයේ තබා භාවිතයට ගත හැකියි. එසේ පසුව භාවිතයට ගන්නවා නම් මේ තලපයට නැවුම් කිරි ස්වල්පයක් ද මිශ්‍රකර ගන්න. මෙය විනාඩි 30ක පමණ වේලාවක් මුහුණේ තිබෙන්නට හැර සිසිල් ජලයෙන් පොඟවා ඇඟිලි තුඩු මඟින් රවුමට මසාජ් කරමින් ආලේපය ඉවත්කර ගන්න. පසුව සිසිල් ජලයෙන් සම සෝදන්න.

ඉන්පසුව ග්ලිසරින් සහ රෝස වතුර එකට මිශ්‍රකර සමේ ආලේප කරන්න. මෙය විනාඩි 30කින් පමණ සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. සබන් හෝ වෙනත් සේදුම්කාරකයක් භාවිත කිරීමෙන් වළකින්න.

හාල් පිටි, හාල්පිටි සෝදා ගත් වතුර (හාල් පිටි සෝදා ගත් වතුර බෝතලයක දමා ශීතකරණයේ තැබීමෙන් ඔබට විටින් විට භාවිතයට ගැනීමට පුළුවන්) කහ කුඩු (අනෙක් ද්‍රව්‍ය ගන්නා ප්‍රමාණවලින් භාගයක්), නැවුම් කිරි ස්වල්පයක් හා කෝපි කුඩු තේහැන්දක් එකට මිශ්‍රකර සාදා ගත් ආලේපය සම මත තවරන්න. විනාඩි 30කට පමණ පසුව පෙර සඳහන් කළ පරිදිම ස්ක්‍රබ් කරමින් එය ඉවත් කරන්න. පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න. මෙය සතියකට දින දෙකක් බැගින් සති තුනක් පමණ සිදු කරන්න.

කුඩා හුණු සහල්, හාල් වතුර, නැවුම් කිරි, හාල් පිටි ස්වල්පයක් සහ කහ තේ හැඳි භාගයක් පමණ දමා මේ සියල්ල හොඳින් එකට මිශ්‍රකර ගන්න. මේ තලපය සම මත ආලේපකර විනාඩි 30ක පමණ වේලාවක් තිබෙන්නට හරින්න. පසුව සම ස්ක්‍රබ් කරමින් සම සීරෙන්නේ නැති ලෙස ප්‍රවේසමට ඉවත් කරන්න. 

පියුමික් ස්ටෝන් එකක් ගෙන ඉන් කකුල්වල වටේ හා යටි පතුල් අතුල්ලා රළු වී ඇති සම ඉවත්කර ගන්න. මේ සඳහා ඔබට වැටකොළු කොස්සක් වුවද භාවිත කළ හැකියි.

අත්වල රළු බව නැති කිරීමට නම් මඳ උණුසුම් ජලයට ෂැම්පු ස්වල්පයක් හෝ ලුණු ස්වල්පයක් දමා මඳ වේලාවක් අත්දෙක එහි ගිල්වා තබන්න. පසුව පියුමික් ස්ටෝන් එකෙන් සෙමෙන් අතුල්ලන්න. පසුව බොඩි ඔයිල් ස්වල්පයක් ආලේප කරන්න.

මේ සඳහා පොල්තෙල් ස්වල්පයක් ළිප තබා එයට කහ ඉතා ස්වල්පයක් දමන්න. මුරුංගා කොළ මිටක යුෂ ද මෙයට එකතු කරන්න. පසුව නිවුණ තෙල් ගෙන පිරිසුදු කරගත් සිරුරේ හොඳින් ආලේපකර මඳ වේලාවක් තබා සම්බාහනය කරන්න. මඳ වේලාවකට පසුව වැටකොළු කොස්සෙන් අතුල්ලා සෝදා හරින්න. මෙය සේදීමේ දී සබන් හෝ සේදුම්කාරක ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වළකින්න.

මේ සියල්ලට අමතරව සිරුරේ ලස්සන පැවතීම කෙරෙහි අප සිදු කරන පිං පව් මෙන්ම සිතුවිලි ද බලපෑම් කරයි. එමනිසා හැකි සෑම විටකම කුඩා හෝ පිනක් සිදු කරන්න. නිතරම සිත වෛරය, ඊර්ෂ්‍යාව, කුහකකම ආදී දුර්ගුණයන්ගෙන් මුදාගෙන මෛත්‍රී සිතුවිලි වලින් සිත පුරවා ගන්න. තවත් අයකුගේ ලස්සනක් දුටුවිට සිතේ කිසිම කහටක් නැතිව 'ඔයා අද හරි ලස්සනයි' ලෙසින් අගයන්න. එවිට එම තැනැත්තියගේ සිත මෙන්ම ඔබේ සිතට ද දැනෙන්නේ සතුටකි. සතුටින් සිටීම ලස්සන රුවකට ඔසුවකි.

උපදෙස් 
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නිලූකා කොඩිකාර